යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් සේරුවාවිල දහම් පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කරයි

13th December 2023

22 පාබල සේනාංකයේ හා 222 පාබල බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි පරිත්‍යාගශීලී පිරිසකගේ අනුග්‍රාහකත්වය ඇතිව සේරුවාවිල රජමහා විහාරයේ ශ්‍රී සුමේදන්කර දහම් පාසලේ අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන් සදහා පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය හා පොත් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 10) දින සිදුකරනු ලැබීය.

222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.කේ.එස් තිලකරත්න ගේ ඉල්ලීමකට අනුව ඕස්ට්‍රේලියාවේ පදිංචි රෝපිත ගන්නෝරුව මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ අනුග්‍රාහකත්වය ඇතිව රුපියල් 220,000.00 වටිනාකමකින් යුත් පාසල් උපකරණ සිසු සිසුවියන් 101 දෙනෙකු බෙදාදෙනු ලැබීය. එම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යුඑස්පී පිඑස්සී සහභාගී වීය.

භටපිරිස් විසින් දහම් පාසල් ගුරුවරුභවතුන් හා ළමුන් 250 දෙනෙකු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනමන ලදී.

උත්සව අවස්ථාව සඳහා පරිත්‍යාගශීලීන්ගේ පවුලේ සාමාජිකයින්, 222 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්, යුද්ධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වූහ.