යුද්ධ හමුදා භටපිරිස් හබරණ ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්නක් මැඩපවත්වයි
21st July 2023
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 7 සහ 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසුනිලයන් 140 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හබරණ, තලපත්කන්ද, හතරැස්කොටුව ප්‍රදේශයේ පසුගිය බදාදා (ජූලි මස 19) දින ඇති වූ ලැව් ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීම සඳහා සිය දායකත්වය දැක්වූහ. මෙම ලැව්ගින්න විශාල ගස් සහ පඳුරු වලින් සමන්විත වනාන්තරයේ වර්ග කිලෝමීටර් 7 ක් පුරාවට පැතිර ගොස් තිබිණි.
ලැව්ගින්න මැඩපැවැත්වීම සඳහා හබරණ අඩවි වන නිලධාරින් යුද්ධ හමුදාවේ සහයෝගය ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් සමඟින් එක්ව යුධ හමුදා සාමාජිකයින් 147 දෙනෙකු එම ස්ථානය වෙත ගොස් කෙටි කාලසීමාවක් තුළ ලැව්ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.
22 හා 23 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් සහ 222 හා 231 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් ක්‍රමානුකූලව වර්ධනය වෙමින් පැවති ලැව්ගින්න මැඩපැවැත්වීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් වෙත අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබාදුන්හ.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී එම ස්ථානය වෙත ගොස් ගින්න මැඩපැවැත්වීම සඳහා භටපිරිස් දක්වන කැපවීම ඇගයීමට ලක්කළේය.