යුද්ධ හමුදා මූලස්ථානයේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි රාජකාරි අරඹයි

12th June 2023

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තෙවන ජ්‍යෙෂ්ඨතම ධූරය වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බ්‍රහස්පතින්දා (ජූනි මස 08) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. අනතුරුව, භික්‍ෂූන් වහන්සේලා වෙත ‘පිරිකර’ සහ ‘ගිලන්පස’ පූජා කර ආශිර්වාද ලබාගත්තේය.

මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරය හෙබවූවේය.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1968 ඔක්තෝබර් මස 13 දින උපත ලැබූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ආනන්ද විද්‍යාලය තුලින් සිය අධ්‍යාපන කටයුතු සාර්ථකව හැදෑරීය. අධ්‍යාපන කටයුතු අතරතුර මළල ක්‍රීඩා තුලින් දස්කම් දක්වමින් ඔහු සිය පාසල් මාතාව වෙත කීර්තියක් සහ ගෞරවයක් අත්කර දුන් ක්‍රීඩකයෙකු ද වේ.

වර්ෂ 1987 මාර්තු මස 16 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 27 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුණු එතුමන් දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුලින් මූලික යුද පුහුණුව හදාරා එම පාඨමාලාව සාර්ථකව නිමකිරීමෙන් පසුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව වර්ෂ 1988 දෙසැම්බර් මස 10 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අනුයුක්ත කෙරිණි. එතුමන් වර්ෂ 1988 දෙසැම්බර් මස 11 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වර්ෂ 1988 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුලින් දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්වන අවස්ථාවේදී අවස්ථාවේදී එවකට යුද්ධ හමුදාධිපති ධූරය හෙබවූ එතුමන්ගේ පියා වන ලුතිනන් ජෙනරල් හැමිල්ටන් වනසිංහ වීඑස්වී යූඑස්වී එන්ඩීයූ (විශ්‍රාමික) ගේ සුරතින් අධිකාරිය සංකේතවත් කරන අසිපත ලබාගැනීමට හැකිවීම ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ ඉතාමත් දුර්ලභ අවස්ථාවක් වශයෙන් සැලකිය හැකියි.

හමුදා දිවිය තුළ අණ හා මාණ්ඩලික සහ උපදේශක පත්වීම් රැසක් හොබවා ඇති එතුමන් එම ධූරයන් හෙබවීමේදී සුවිශේෂී හැකියාවන් පිළිබිඹු කර ඇත. වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම වසර 22 කට අධික කාලසීමාවක් පුරාවට උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්හි පැවති මානුෂීය මෙහෙයුමේදී එතුමන් වෙත පැවරුණු යුදමය රාජකාරීන් සඳහා ඔහු සුවිශේෂී කැපවීමක් දැක්වූ නිර්භීත රණශුරයෙකු වේ.

මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම එතුමන් 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ රැළි කණ්ඩායම් අණදෙන නිලධාරි, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ විධායක අධිකාරි, 26 බලසේනවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III (ක්‍රියාන්විත) සහ බලසේනා මේජර්, ශ්‍රී ලංකා ටෙලිකොම් ඒකකයේ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II (පරිපාලන), 14 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දෙවන අණදෙන නිලධාරි, 21 පාබල සේනාංකයේ කාර්යයේ නියුතු ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (සම්බන්ධීකරණ), ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ අණදෙන නිලධාරි, 59 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 682 පාබල බලසේනාවේ බලසේනාධිපති, 144 පාබල බලසේනාවේ බලසේනාධිපති, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ (පරිපාලන), යුද්ධ හමුදා මූලස්ථානයේ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා විධායක ජෙනරාල්, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක වැනි කීර්තිමත් ධුරයන් රැසක් හොබවා ඇත.

මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ කීර්තිමත් සේවා කාලය තුළ මූලික ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාඨමාලාව, ශ්‍රී ලංකාවේ ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ පුහුණුකරු පාඨමාලාව සහ සැඟවුණු වෙඩික්කරු පාඨමාලාව, සෑන්ඩර්ස්ට් (Sandhurst) හමුදා පාඨමාලාව (1989) - එක්සත් රාජධානිය, කාලතුවක්කු තරුණ නිලධාරී පාඨමාලාව (1991) - පකිස්ථානය, නිලධාරී ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව (1995) - ඉන්දියාව, කාලතුවක්කු මධ්‍ය වෘත්තීය පාඨමාලාව (2006) - පකිස්ථානය, සැඟවුණු වෙඩික්කරු පුහුණු පාඨමාලාව (2008) - බංගලාදේශය, කාලතුවක්කු බලඇණි අණදෙන නිලධාරි පාඨමාලාව (2011) - චීනය, සාමසාධක මෙහෙයුම්වල සන්නද්ධ ගැටුම් අවම කිරීම පිළිබඳ පාඨමාලාව - තුර්කිය සහ ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලාව (2018) - චීනය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

චීනයේ බීජිං ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් ද වන ඔහු එම විශ්වවිද්‍යාලය තුලින් උපායමාර්ගික හමුදා අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබා ඇත.

මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම වෙනුවෙන් එතුමන් රණ ශූර පදක්කමෙන් පිදුම් ලබා ඇත. එමෙන්ම එතුමන්ගේ නොකැළැල් සේවා කාලය වෙනුවෙන් විශිෂ්ඨ සේවා විභූෂණය සහ උත්තම සේවා පදක්කම ද පිරිනමා ඇත. තවද, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ අභීත සේවය වෙනුවෙන් නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් සංවත්සර පදක්කම - 1998, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර පදක්කම - 1999, 75 වන නිදහස් දින සැමරුම් පදක්කම - 2023, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, සේවාභිමානී පදක්කම සහ සේවා පදක්කම ද එතුමන් වෙත පිරිනමා ඇත.

මේ වන විට මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ධුරය ද හොබවනු ලබයි.

චාමා වනසිංහ මැතිණිය සමඟ සාර්ථක යුග දිවියක් ගෙවන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පුතනුවෙකුගේ ආදරණීය පියාණන් ද වේ.