විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවේ බලකාධිපති භටපිරිස් අමතයි

11th May 2023

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් එම රෙජිමේන්තුව යටතේ ස්ථාපිත ඒකකයන්හි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී, අප්‍රේල් 30 දින (ඉරිදා) යාපනය මයිලඩි පිහිටි 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙත්, ඉකුත් සඳුදා (01) දින කිලිනොච්චියේ 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ බ්‍රහස්පතින්දා (04) දින ගල්කුලම 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතත් නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

කඳවුරු පරිශ්‍රයන් වෙත සපැමිණි මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් වෙත එම ඒකකයන්හි භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූ අතර, අනතුරුව ඒකක අණදෙන නිලධාරීන් විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එම සංචාරයන් සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් කඳවුරු පරිශ්‍රයන්හි පැල රෝපණයන් ද සිදුකරන ලද අතර, සමූහ ඡයාරූප සඳහාද පෙනි සිටි එතුමන් සියලු නිලයන් ඇමතීය.

කඳවුරු පරිශ්‍රයන් වෙතින් පිටත්ව යාමට ප්‍රථම එම අවස්ථාවන් සනිටුහන් කරමින් එතුමන් අමුත්තන් සඳහා වූ පොත්හි සමරු සටහන් ද තැබුවේය.