ත්‍රිවිධ හමුදා ‘පීඑස්සී’ උපාධිධාරීන් තවත් කණ්ඩායමක් විසිර යති
13th December 2016
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පීඑස්සී (මාණ්ඩලික පාඨමාලාව සමත්) පාඨමාලාව සම්පූර්ණ කරන ලද තවත් ශිෂ්‍ය නිලධාරින් පිරිසක් වෙත උපාධි ප්‍රදානය කිරීමේ උත්සවය සඳුදා (12) දින පැවැත් වූ අතර, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නිලධාරීන් 114 ක් සහ විදෙස් ශිෂ්‍ය නිලධාරීන් 12 ක් මෙම පාඨමාලාව හදාරනු ලැබීය.
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක 10 යෙහි උපාධි ප්‍රදානය කිරිමේ මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ සහ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් උදය පෙරේරාගේ ආරාධනයෙන් සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගි විය.
මෙම පාඨමාලාව 2016 ජනවාරි 03 දින ආරම්භ වූ අතර, ඒ සඳහා යුද හමුදාවේ 64ක්, නාවික හමුදාවේ 26 ක්, ගුවන් හමුදාවේ 24 ක් සහ බංගලාදේශය, චීනය, ඉන්දීයාව, ඉන්දුනීසියාව, මැලේසියාව, මාලදිවයින, නේපාලය, පකිස්තානය, රුවන්ඩා, සෙනගල් සහ වියට්නායම යන රටවල් නියෝජනය කරමින් විදෙස් ශිෂ්‍ය නිලධාරීන් 12 ක් ඇතුලු නිලධාරීන් 126 ක් ද සහභාගි වූහ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඩ්‍රන් ලීඩර් එල්.ඒ.එච්.පි. ලියනආරච්චි හට දක්ෂතම නිලධාරීයාට පිරිනමනු ලබන ‘රන් පෑන’ පිරිනැමු අතර, ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දක්ෂතම නිලධාරීයාට හිමි සම්මානය ද ඔහු විසින් හිමිකර ගන්නා ලදි.
යුද හමුදාව වෙනුවෙන් දක්ෂතම නිලධාරීයාට හිමි සම්මානය මේජර් ජි.අයි.කේ. ජයවික්‍රම හිමි කර ගත් අතර, නාවික හමුදාව වෙනුවෙන් ලුතිතන් කමාන්ඩර් එම්.එම්.ජි.යු.ආර්. ගමගේ එම සම්මානය දිනා ගනු ලැබීය.
ඉන්දීය යුද හමුදාවේ මේජර් සතිශ් පටිල් යන විදෙස් ශිෂ්‍ය නිලධාරීයා ද මෙහිදි සම්මානයට පාත්‍ර විය.
මෙහිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් විශේෂ සම්මානයන් පිරිනැමිම සිදු කෙරිනි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද, නාවික සහ ගුවන් හමුදාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.
එමෙන්ම හිටපු හමුදාපතිවරුන්, හිටපු සේනාවිධායකවරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, ආරක්ෂක උපදේශකයින් මෙන්ම උපාධිධාරි සාමාජිකයින් සහ ආරාධිතයින් ද මීට එක්ව සිටියහ.
|