දුම්රිය අනතුර වළකාගත් හිටපු යුද හමුදා සෙබලා හට විශේෂ ඇගයුම් සහ මුල්‍යමය ත්‍යාග

8th December 2016

විශ්‍රාමික යුද හමුදා කෝප්‍රල් එස්.ඩබ්ලිව් කරුණාදාස (44) ගේ ක්ෂණික මැදිහත්වීමෙන් ‘යාල් දේවී’ දුම්රියෙහි සිදුවෙන්නට ගිය හදිසි අනතුර වළක්වා දෙදහසක පමණ මිනිස් ජීවිත ප්‍රමාණයක් අනතුරෙන් වළක්වා ගැනීමට යුහුසුළුව ක්‍රියා කිරීම ඇගයීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ඔහු හට සඳුදා (8) දින යුද හමුදා මූලස්ථාන නිල කාර්යාලය වෙත ආරාධනා කරනු ලැබීය.

විශ්‍රාමික ලාන්ස් කෝප්‍රල් කරුණාදාස 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවය කර ඇති අතර ඔහු තඹුත්තේගම මුසල්පිටිය වැව්වාන ප්‍රදෙශයේ පදිංචිකරුවෙකි. නොවැම්බර් මස 14 වන පුන් පොහෝ දින අසල පිහිටි විහාරස්ථානයක පැවති ආගමික වැඩසටහනක් සඳහා සහභාගි වී ඔහුගේ 14 හාවිරිදි පුතු සමඟ නැවත නිවස වෙත පැමිණෙන අවස්ථාවේ දී ඔවුන් දුම්රිය මාර්ගයේ පිහිටි පීල්ලක් කැඩී වෙන්ව ඇති බව නිරීක්ෂණය කරන ලදී. එහිදී දුම්රිය එම ස්ථානය පසු කළ හොත් මහත් විනාශයක් සිදුවන බව ඔවුන් අවබෝධ කරගන්නා ලදී.

එම අනතුර හදුනාගත් ලාන්ස් කෝප්‍රල් කරුණාදාස විසින් කඩිනමින් ඔහුගේ නිවසට පැමිණ රතු පැහැති රෙදි කඩක් රැගෙන ක්ෂණිකව දුම්රිය දෙසට දිවයන ලදී.

රතු පැහැති රෙදි කඩ රැගත් ලාන්ස් කෝප්‍රල් කරුණාදාස මීටර් 400 – 500 ත් අතර දුර ප්‍රමාණයක් දිව ගොස් කොළඹ සිට පැමිණෙන යාල් දෙවී දුම්රිය නවත්වා ගැනීමට ක්‍රියා කරන ලදී. එහිදී දුම්රිය හානියට පත් වූ දුම්රිය මාර්ගයේ එම කොටසට මීටර් 100 ක් පමණ තිබිය දී නවත්වා ගැනීමට හැකි විය. එමගින් දුම්රිය මැදිරි නවයක සිටි 2000 ක ගේ පමණ ජීවිත බේරා ගැනීමට හැකි විය.

යුද හමුදාපති කාර්යාලයේ දී ඔහුගේ මෙම විර ක්‍රියාව අගයකරමින් ඔහුට විශේෂ ඇගයුම් සංකේතය පිරිනැමීම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සිදු කළ අතර, අනතුරුව ඔහු සහ ඔහුගේ පුතුන් දෙදෙනා සමඟ ඉතා සමීපව සම්බන්ධ වෙමින් ඔවුන් හට අගය කිරීමේ ලිපි ප්‍රදානය කරනු ලැබීය.

මීට අමතරව රුපියල් ලක්ෂයක මුල්‍යමය ත්‍යාගයක් ද යුද හමුදාපතිවරයා විසින් පිරිනමන ලදී. කෝප්‍රල් එස්.ඩබ්ලිව් කරුණාදාස උතරු සහ නැගෙනහිර ප්‍රදේශ ඇතුළුව අවුරුදු 14 ක පමණ කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු 2005 වර්ෂයේ දී යුද හමුදාවෙන් විශ්‍රාම ගොස් ඇත.

මෙම අවස්ථාව සඳහා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ඒ.එස් ද එස් වික්‍රමරත්න සහ රණ සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එන්.ඒ.පී.සී නාපාගොඩ ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගි වූහ.

|