මිරීයබැද්ද විපතට පත් ජනතාව වෙනුවෙන් යුද හමුදාව විසින් ඉදිකරන ලද නව නිවාස ඔවුන්ගේ අයිතියට

27th October 2016

මිරියබැද්ද නායයෑමේ ඛේදවාචකයෙන් අවතැන්වූවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දියලුමට නුදුරු මාකල්දෙණිය ප්‍රදේශයේ ඉදිකරන ලද නිවාස 75, ඔක්තෝබර් මස 29 වන දිනට යෙදෙන 'දීපාවලී' උත්සවයට පෙර ඔවුනට ලබාදෙන ත්‍යාගයක් ලෙස ඔවුන්ගේ අයිතියට පත් කරන ලදි. එම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන්, නිවාස හිමියන් සහ සිවිල් වැසියන් ඇතුලු බොහෝ පිරිසක් සහභාගි වූහ.

අදාළ බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව යුද හමුදාපතිගේ මඟපෙන්විමෙන් මෙම නිවාස 75 හි ඉදිකිරිම් කටයුතු නිම කිරීමට මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ඉංජිනේරුවන්, 5(සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 18 වන ගැමුණු හේවා බලඇණියේ සහ 3 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් ඔවුන්ගේ වෘත්තීය දැනුම සහ ශ්‍රමදායකත්වය ලබාදෙන ලදි. එමෙන්ම මෙහි එක් නිවසක් සඳහා මිලියන 1.9 ක් රජය විසින් ලබා දී ඇත.

මෙම ව්‍යාපෘතිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එල්.බි.ආර්. මාක් (විශ්‍රාමික), අදාළ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ අධික්ෂණයෙන් 2015 මැයි මස 1 වන දින ආරම්භ කරන ලද අතර, එහි සම්බන්ධිකරණ නිලධාරී ලෙස බ්‍රිගේඩියර් සි.එස්. ඇටිපොල කටයුතු කරනු ලැබීය.

මාකල්දෙණිය ප්‍රදේශයේ ඉදිකරන ලද මෙම නිවාස විවෘත කිරීම ඔක්තෝබර් මස 21 වන දින සිදු කළ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආපදා කළමනාකරණ අමාත්‍ය, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහභාගි විය. තවද එම අවස්ථාව සඳහා ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ගරු දුනේෂ් ගංකන්ද මහතා, අමාත්‍ය පි. දිගම්බරම් මහතා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එල්.බි.ආර්. මාක් (විශ්‍රාමික), මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ, ව්‍යාපෘති සම්බන්ධිකරණ නිලධාරී බ්‍රිගේඩියර් සි.එස්. ඇටිපොල, රාජ්‍ය නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

|