ආරක්ෂක ලේකම් කීරමලේයි නිවාස සංකීර්ණයේ ඉදිකිරිම්හි ප්‍රගතිය පිළිබඳ සොයාබලයි

4th October 2016

මේ වන විට යාපනයේ අවතැන් වූ පවුල් 100 ක් සඳහා ඉදිකරමින් පවතින කීරමලේයි නිවාස සංකීර්ණයේ ඉදිකිරිම් කටයුතු හි ප්‍රගතිය පිළිබඳ සොයාබැලීම සඳහා අද (02) උදෑසන ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි සමඟින් පාර්ලිමේන්තු සහ සිවිල් සම්බන්ධීකරණ අතිරේක ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, යාපනය දිස්ත්‍රික් ලේකම් එන් වේතනායහම් මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මෙන්ම රජයේ නිලධාරීන් කිහිපදෙනෙක් ද එක්ව සිටියහ.

මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රමදායකත්වය යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය වෙතින් සපයන අතර, එහි ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් එම පිරිස පිළිගන්නා ලදි. මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගැනීම් අදාල සිවිල් බලධාරීන් හා ග්‍රාමසේවා නිලධාරීන් සමඟ සම්බන්ධතාවයෙන් සිදු කළ අතර, එහි දී මෙම ව්‍යාපෘතියේ වත්මන් තත්වය පිළිබඳව ඉදිරිපත් කිරිමක් ද සිදු කෙරිනි. මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන ලබාදීම නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා සිදු කරනු ලැබේ.

එමෙන්ම, මෙහිදි එම පිරිස විසින් ඉදිකිරිම් කටයුතු නිමවෙමින් පවතින මෙම නිවාස පරික්ෂා කිරීම සිදු කළ අතර, මෙම නිවාස උත්සවාකාරයෙන් විවෘත කිරීම නොබෝ දිනකින් සිදු කර ඒවා සුදුසු ප්‍රතිලාභීන් වෙත පැවරීමට ද නියමිතය.

එසේම මෙම පිරිස යාපනයේ පැවැත්වෙන ජාතික ක්‍රීඩා උළලේ සමාප්ති උත්සවය සඳහා සහභාගිවීමට ද නියමිතය.

|