ශ්‍රී දළදා මාළිගාවේදී යුද හමුදා ධජයන්ට සෙත් පතයි

29th September 2016

මහනුවර දී අද දින සන්ධ්‍යාවේ පැවති දවසේ දෙවන වැඩසටහන ලෙස දළදා මාළිගා පරිශ්‍රයේ ප්‍රධාන දොරටුව අසලට රැස් වූ යුද හමුදා ධජයන් පෙරටුකරගත් නියෝජිත සියලුම නිලයින් අති පූජනීය දළදා මාළිගාවේ ඇතුළු කුටියේ දී සිදු කිරීමට නියමිත සංකේතාත්මකව ධජයන්ට සෙත් පැතීමේ උත්සවය සඳහා සහභාගි වූහ. යුද හමුදා ධජය ඇතුළු ස්වේච්ඡා බලසේනා ධජය, සියලුම ආරක්ෂක සේනා මූලස්ථාන, සේනාංක, බලසේනා, පුහුණු පාසල්, පුහුණු මධ්‍යස්ථාන, රෙජිමේන්තු ධජයන් ඇතුළු දිවයින පුරා විසිරී ඇති ධජයන් පෙරටු කර ගත් අදාල ඒකක නියෝජිතයින් විසින් එම ධජයන් රැගෙන ඉතා ගෞරවාන්විතව පෙරහැරකින් ඉහළ කුටිය සහ පත්තිරිප්පු ප්‍රදේශය වෙත රැගෙන ආ අතර, යුද හමුදාපති විසින් යුද හමුදා ධජය පෙරටුකරගනිමින් සෙත් පැතීම සඳහා සහභාගි විය. ඉන් අනතුරුව ධජයන් ඉහළ කුටියේ තේවාව භාර ප්‍රධාන ස්වාමීන් වහනසේ වෙත භාර දුන් අතර, උන්වහන්සේ විසින් එම ධජයන්ට සෙත් පිරිත් සජ්ජායනය කරමින් යුද හමුදාවේ ඉදිරි ගමන වෙනුවෙන් සෙත් පැතීම සිදු කරනු ලැබීය. 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එස්.එන්.කේ සේනාධීරගේ මගපෙන්විම යටතේ එම භට පිරිස් විසින් බදාදා (28) සන්ධ්‍යාවේ ශ්‍රී දළදා මාළිගාව වෙත ගිලන්පස පූජාව සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල ප්‍රමාණයක් සහභාගි වූහ.