67 වන යුද හමුදා සංවත්සරයට සමගාමීව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ආගමික වතාවත්
29th September 2016
ඉදිරියේදී සැමරීමට නියමිත 67 වන යුද හමුදා සංවත්සරයට සමගාමීව සිදු කරනු ලැබූ පළමු ආගමික වැඩසටහන ලෙස බදාදා 28 වන දින පෙරවරුවේ මහනුවර ඵෙතිහාසික දළදා මාලිගයේ දී දළදා වහන්සේ වෙත බුද්ධ පූජාව පුජා කිරීම සිදු කළ අතර, පසුව මහා සංඝයා වහන්සේ 67 ක් විෂයෙහි දානය පිරිනැමීම ද බුදුන් වහන්සේගේ හා අනුගාමික ස්වාමීන් වහන්සේලාගේ ශාරීරික, පාරිභෝගික සහ උද්දේසික ධාතූන් වැඩ සිටින දළදා මාලිගා පරිශ්‍රයේ දී සිදු කරනු ලැබීය. උදෑසන 9.45 ට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරාල් චන්න ගුණතිලක සමගින් විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එස්.එන්.කේ සේනාධීර සමගින් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් විසින් පිළිගන්නා ලදී. දළදා මාළිගාවේ සම්ප්‍රදායික දෛනික තේවාවෙන් අනතුරුව යුද හමුදාපතිතුමා විසින් ආගමික වතාවත් සිදු කිරීමට ප්‍රථම සම්ප්‍රදායික බෙර වාදන මධ්‍යයේ සමන් පිච්චමල් බන්දේසියක් සමගින් ‘ගිලන්පස’, ‘මුරුතැන්’ බුද්ධ පූජාව ද ශ්‍රී දළදා මාළිගාවේ ඇතුලු කුටිය වෙත පූජා කළහ. මෙහිදී යුද හමුදාපති විසින් යුද හමුදාව වෙනුවෙන් සංකේතාත්මකව සමරු තිළිණයක් දළදා මාළිගාව වෙත පිරිනැමීම දියවඩන නිළමේ කාර්යාල පරිශ්‍රයේ දී සිදු කරනු ලැබීය. බදාදා (28) දින පැවති සංවත්සර වැඩසටහනේ දෙවන අදියරේ දී අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය ආනමඩුවේ ධම්මරතන හිමි, මල්වතු පාර්ශවයේ අනු නායක අති පූජ්‍ය දිවුල්කුඹුරේ විමලධම්ම හිමි ඇතුළු මහා සංඝ රත්නයේ 67 නමක් උදෙසා දළදා මාළිගා පරිශ්‍රයේ දී යුද හමුදා සාමජිකයින් විසින් දානය පිරිනැමීම ද සිදු කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහභාගි වූ අතර, වතාවත් අවසානයේ ස්වාමීන් වහන්සේලා විසින් අනුශාසනාවක් සිදු කරමින් දේශයේ අභිවෘද්ධිය උදෙසා යුද හමුදාව මගින් සිදු කරනු ලබන සේවය වෙනුවෙන් ආශිර්වාද පැතීම සිදු කරනු ලැබීය.