යුද හමුදාව විසින් ඉදිකළ තවත් නිවාස 50 ක් ජනාධිපති සුරතින් රණවිරු අයිතියට

21st August 2016

යුද හමුදාවේ රාජකාරි කරමින් සිටිය දී මියගිය රණවිරුවන්ගේ ළගම ඥාතීන්, ආබාධිත රණවිරුවන් සහ සේවයේ නියුතු රණවිරුවන් වෙත යුද හමුදා වියදමින් ඉදිකරන ලද නව නිවාස 50 ක යතුරු ප්‍රදානය කිරීම අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මෙන්ම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. ජනාධිපතිගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ආශිර්වාදයෙන් මාස කිහිපයකට පෙර යුද හමුදාපති විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය, රණවිරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යුද හමුදා සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස්හි පුර්ණ සහයෝගය ඇතිව සාර්ථකව නිම කරන ලදි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ ඉහත සඳහන් ප්‍රතිලාභීන් වෙත ඔවුන්ටම හිමි ඉඩම්වල යුද හමුදා වියදමින් මෙම නිවාස ඉදිකරදීම සිදුකෙරිනි. තවද යුද හමුදාව විසින් මෙහි එක් නිවසක් සඳහා රුපියල් මිලියන 2.5 ක් වැය කර ඇත. මීට පෙර ද මේ ආකාරයටම නිවාස 36 ක් ඉදිකළ අතර, එම නිවාස භාරදීම යුද හමුදාපතිගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරිනි. මෙම අදියරේ දී, මාතර, ගාල්ල, කොළඹ, ගම්පහ, අනුරාධපුර සහ පුත්තලම ඇතුලු දිස්ත්‍රික්ක 15 ක ප්‍රතිලාභීන් විසින් සපයා තිබෙන ඉඩම්වල මෙම නව නිවාස 50 ඉදිකරන ලදි. ජනාධිපතිතුමා විසින් සංකේතාත්මකව නිවස ලාභීන් වෙත අදාල නිවෙස්හි යතුරු භාරදීමේ අඟහරුවාදා (16) පැවති උත්සවය අවස්ථාව සඳහා නියෝජ්‍ය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ජා බලසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක ඇතුලු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද, එම නව නිවාස ඉදිකිරීම සිදු කරන අදාළ රෙජිමේන්තුවල කර්නල් සේනාවිධායකවරුවන් ද සහභාගි වූහ. යුද හමුදාව විසින් ලබා දී ඇති මූල්‍ය ප්‍රතිපාදනවලට ගැලපෙන පරිදි නිවාසලාභීන් විසින් ඉදිරිපත් කරන ලද විශේෂිත වාස්තු විද්‍යාත්මක සැලසුම්වලට අනුකූලව මෙහි එක් එක් නිවෙස් ඉදිකරන අතර, ඔවුන් කැමතිනම් ඔවුන්ගේ වියදමින් එය වෙනස් කර ගැනීමට ද මෙහිදි අවස්ථාව හිමි වේ. මෙහිදි, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා මෙන්ම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ද උත්සව සභාව ඇමතුහ.