ආරක්ෂක ලේකම් යුද හමුදාපති සමඟින් වන්නි හා උතුරු තොරතුරු සොයා සංචාරයක

17th August 2016

වව්නියාව, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශහි මෙතෙක් ආරක්ෂක හමුදාවන් විසින් භාවිතා කරන ඉඩම් නිදහස් කිරීම සම්බන්ධව සොයා බැලීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සහ රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් සෙනසුරාදා (13) දින එහි සංචාරය කරන ලදි. ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, ක්‍රියාන්විත අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් කේ. යහම්පත්, පරිපාලන අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් සී.පී. වැලිකල, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්තා පෙරේරා මිය සහ කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් එස්. අරුමෙයිනායගම් මහතා, මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්.කේතිෂ්වරි මහත්මිය, වන්නි අතිරේක දිස්ත්‍රික් ලේකම් ටි. උදයරාස ඇතුලු පිරිස පිළිවෙලින් වන්නි, කිලිනොච්චි සහ මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයන්හි දී එහි ආඥාපතිවරුන් විසින් පිළගත් අතර, අනතුරුව පළාත් මට්ටමින් සාකච්ජා ආරම්භ කෙරිනි. ඉන්පසුව මෙම නියෝජිත පිරිස දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරින් සමඟ එක්ව වන්නි, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශවල ආරක්ෂක හමුදා විසින් භාවිතා කරනු ලබන නිශ්චිත ස්ථාන පිළිබඳව සොයාබැලීම සඳහා යන ලදි. එමෙන්ම, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, මෙම සංචාරය සිහිගන්වනු වස් ආරක්ෂක සේනා මුලස්ථාන තුනෙහි විශේෂ අමුත්තන් සඳහා වූ පොත්හි අත්සන් තැබිම ද සිදු කෙරිනි. එමෙන්ම, මෙම සංචාරයේ අවසන් අදියර ලෙස ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් කීරමලෙයි නිවාස ව්‍යාපෘතියේ කටයුතු පිළිබඳව නිරීක්ෂණයක නිරත විය. වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ මෙන්ම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ද මීට එක්ව සිටියහ.