පකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී යුද හමුදාපති හමුවේ
11th August 2016
පකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චිෆ් මාර්ෂල් සොහෙල් අමාන් යුද හමුදාපතිතුමාගේ ආරාධනයකට අනුව සඳුදා (08) දින යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. පකිස්තාන ගුවන් හමුදාවේ 21 වන ගුවන් හමුදා ප්‍රධානී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාංගන පිවිසුම් දොරටුව අභියස දී යුද හමුදා මූලස්ථාන බලඇණියෙහි අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් අනිල් සෝමවීර විසින් පිළිගනු ලැබූ අතර, කඳවුරු සම්මාන මුරයකින් පසු විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත විසින් හමුදා සම්පදායානුකූලව ගුවන් හමුදා ප්‍රධානී පිළිගනු ලැබීය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සංචාරයක නියුතු පකිස්ථාන ගුවන් හමුදා ප්‍රධානී හට කණ්ඩුල හස්තියා පෙරටුකර ගත් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු භට පිරිස් විසින් සම්මාන ආචාර මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමනු ලැබූ අතර, එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි විය. ඉන් අනතුරුව මෙම විශේෂ දිනයෙහි ගුවන් හමුදා ප්‍රධානී යුද හමුදා අනුකූලව පිරිනැමූ ආචාරයන් පිළිගනු ලැබීය. අනතුරුව ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් හමුදාපති ලේකම් කාර්යාලය වෙත කැදවාගෙන යනු ලැබූ අතර, එහිදී යුද හමුදාපතිතුමා විසින් ගුවන් හමුදා ප්‍රධානී ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් හදුන්වාදෙනු ලැබීය. එහිදී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ පකිස්ථාන ගුවන් හමුදා ප්‍රධානී අතර දෙරටේ හමුදාවන් සම්බන්ධව වැදගත් කරුණු පිලිබඳව සාකච්ඡා කළ අතර, ඉදිරියේදී වඩා සහයෝගීතාවයෙන් හා මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කළයුතු ආකාරය ද මෙහිදී කතාබහට ලක්විය. එමෙන්ම දෙපිරිස අතර හොද හිත සහ සහයෝගය තව තවත් වර්ධනය කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. එම අවස්ථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් රැසක් එක් විය.