යුද හමුදාපතිතුමාගේ අදහසක් අනුව විපතට පත් සාලාව ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා පාසල් නිළ ඇදුම්

3rd August 2016

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මගපෙන්වීම අනුව කොස්ගම - සාලාව කඳවුරේ ඇති වූ පිපිරීම හේතුවෙන් විපතට පත් එම ප්‍රදේශයේ පාසල් දුවා දරුවන් 291 දෙනෙකු සඳහා පාසල් නිළ ඇදුම් බෙදීමේ උත්සවයක් සිකුරාදා (29) දින හංවැල්ල රාජසිංහ මහා විද්‍යාලයේ දී සංවිධානය කරනු ලැබීය. ඒ අනුව හංවැල්ල රාජසිංහ මහා විද්‍යාලය, කළුඅග්ගල දොන් බොස්කෝ විද්‍යාලය, හංවැල්ල මායාදුන්න විද්‍යාලය සහ පහත්ගම රෝමානු කතෝලික විද්‍යාලය යන පාසල්හි දුවා දරුවන් 291 දෙනෙකු සඳහා බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ප්‍රධානත්වයෙන් පාසල් නිළ ඇදුම් බෙදා දෙනු ලැබීය. එමෙන්ම යුද හමුදාවේ දායකත්වයෙන් කොස්ගම පිපිරීම නිසා විපතට පත් පවුල් සඳහා හැකිතාක් සහන ලබා දීමේ අරමුණින් යුතුව තවත් පාසල් 38 ක පාසල් සිසුන් සඳහා නිළ ඇදුම් කට්ටල බෙදා දීම නුදුරේදී සිදු කිරීමට නියමිතය. සිකුරාදා (29) දින හංවැල්ල රාජසිංහ මහා විද්‍යාලයේ පැවති අදාල පාසල් හතර සඳහා නිළ ඇදුම් කට්ටල බෙදා දීමේ අවස්ථාවට යුද හමුදාපතිතුමා නියෝජනය කරමින් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහභාගි වූ අතර, එම අවස්ථාව සඳහා සීතාවක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ටී.එස්.එන්.කේ දිසානායක මිය, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ද සහභාගි වූහ. මේ අතරතුර යුද හමුදාපතිතුමාගේ මඟපෙන්වීම යටතේ රණවිරු අපරල් ආයතනය විසින් කොලොන්නාව සහ ගොතටුව ප්‍රදේශවල ගං වතුරෙන් විපතට පත් සිසුන් වෙනුවෙන් පාසල් නිළ ඇදුම් මසා දීමේ වැඩසටහනක් විහාරස්ථානය තුළ සිදු කළ අතර, මීට දින කිහිපයකට පෙර එම ව්‍යාපෘතිය සාර්ථකව නිමාවට පත් විය.