ජනපති කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සමරු පොතෙහි සටහන් තබයි

20th July 2016

සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිළිනොච්චි ශ්‍රී ලංකා - ජර්මන් තාක්ෂණික විද්‍යාලයේ සංචාරයක නිරතවන අතරතුර සඳුදා (18) දින කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය. ඉරණමඩු වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගැනීම සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුලු සම්භාවනීය අමුත්තන් බොහෝ පිරිසක් එක්ව සිටි අතර, එහිදි ජනාධිපතිතුමා වෙත විශේෂ සම්මාන මුරයක් පිරිනමා රතුපලස් මතින් කැඳවාගෙන යන ලදි. එහිදී ජනාධිපතිතුමා කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයෙහි සේවයෙහි නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් සමග කෙටි පිළිසදරක යෙදුන අතර, අනතුරුව විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ද අත්සන් තැබීමට අමතක නොකළහ. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය, උතුරු පලාත් ආණ්ඩුකාරවරයා, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති, ශ්‍රී ලංකාවේ ස්වීඩන් තානාපති, ඉන්දියාවේ කොන්සල් ජෙනරාල්, නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු ලේකම්, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියෙහි සභාපති, GIZ අධ්‍යක්ෂක - ජර්මනිය, GIZ අධ්‍යක්ෂක - ශ්‍රී ලංකා, රාජ්‍ය නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස් සාමාජිකයින්ද ජනපති සමගින් මෙම සංචාරයට එක් වූහ.