සුවසහන මධ්‍යස්ථානයන්හි පුනරුත්ථාපනය වන යුද හමුදා සාමාජිකයින් ප්‍ර‍ථම වරට යාපනයෙහි විනෝද චාරිකාවක

13th July 2016

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අදහසකට අනුව යුද හමුදා සුවසහන මධ්‍යස්ථානවල පුනරුත්ථාපනය වන යුද හමුදා සාමාජිකයින් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (12) දින උදෑසන ප්‍ර‍ථම වරට යාපනය ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරත වූ අතර, එම අවස්ථාව සඳහා වෛද්‍යවරුන්, හෙදියන්, භෞතචිකිත්සකවරුන් සහ භාරකරුවන් 16 දෙනෙකු ද ඇතුලත් වූහ. පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලය සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය එක්ව සංවිධානය කරනු ලැබූ මෙම විනෝද චාරිකාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ආසන 46 කින් සමන්විත ගුවන් යානයකින් යුද හමුදා සාමාජිකයින් යාපනය ප්‍රදේශයට කැදවාගෙන එනු ලැබූ අතර, ත්‍ර‍ස්තවාදයට එරෙහිව යාපනය ප්‍රදේශයේ සටන් කළ රණවිරුවන් හට මෙම සංචාරය ඉතා උද්යෝගිමත් චාරිකාවක් වනු නොඅනුමානය. ජුලි මස 12 සිට 14 වන දක්වා දින තුනක් මුළුල්ලේ සිදු කෙරෙන මෙම සංචාරය තුල දී නල්ලූර් කෝවිල, යාපනය බලකොටුව, දඹකොළපටුන, නාගදීප විහාරය, අලිමංකඩ රණවිරු ස්මාරකය ඇතුළු තවත් ස්ථාන රැසක් නැරඹීමෙන් අනතුරුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙන් විනෝද චාරිකාව නිමාවීමට නියමිතය. මව්බිමේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වය වෙනුවෙන් අභීතව සටන් වැදුණු මෙම රණවිරුන් යාපනය ප්‍රදේශයේ රැදී සිටින තෙදින තුල ඔවුන් හට අවශ්‍ය සියලු පහසුකම් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ පූර්ණ අධීක්ෂණය යටතේ සලසා තිබීම මෙහි තවත් විශේෂත්වයකි. දේශය වෙනුවෙන් අභිතව සටන් වැද රණක්ෂිතයට පත්ව තම ක්‍රියකාරකම් තනිවම සිදු කර ගැනීමට නොහැකිව රෝද පුටු ආධාරයෙන් අභිමංසල I, II, III, රාගම රණවිරු සෙවන සහ අත්තිඩිය මිහිදු සෙත් මැදුරෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන යුද හමුදා සාමාජිකයින් මෙම විනෝද චාරිකාව සඳහා එක් වූ අතර, මේ වන විට පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ එම සුවසහන මධ්‍යස්ථානවල රණක්ෂිතයට පත් වූ රණවිරුවන් 300 - 400 කට අධික ප්‍ර‍මාණයක් නේවාසිකව ප්‍ර‍තිකාර ලබමින් සිටියි. කටුනායක ගුවන් හමුදා කදවුරෙන් අද (12) දින උදෑසන ආරම්භ කරන ලද එම විනෝද චාරිකාව යාපනය නගර මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී නාග විහාරයේ පැවත්වීමට නියමිත විශේෂ ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව බ්‍ර‍හස්පතින්දා (14) දින නිමා කරනු ලැබේ.