ආබාධිත තත්වයට පත් රණවිරුවන් සඳහා රණවිරු සම්පත් කෙන්ද්‍රයේ දී වෘත්තීය පුහුණුව
8th July 2016
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා අනුබද්ධිතව ස්ථාපිත යුද හමුදාවේ අබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ පුහුණු මධ්‍යස්ථානය වන වත්තල, හේකිත්ත පිහිටි රණවිරු සම්පත් කෙන්ද්‍රය වෙතින් එම රණවිරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව තුල ප්‍රථම වරට ජාතික වෘත්තීය සුදුසුතා පාඨමාලාවක් පවත්වන ලදි. එම පාඨමාලාව සාර්ථකව නිමකළ රණවිරුවන් 126 දෙනෙකු වෙත සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය අඟහරුවාදා (05) පස්වරුවේ යුද හමුදා මුලස්ථානයේ දී පැවති අතර, පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එස්.කේ. තිරුවාණාවුකරසුගේ ආරාධනයෙන් එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ගාමිණි හෙට්ටිආරච්චි මෙන්ම එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. ඒ අනුව වසර දෙකක කාලයක් පැවැති ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ පාඨමාලාව, වඩු කාර්මික (ගොඩනැගිලි) පාඨමාලාව සහ වසරක කාලයක් පැවති පරිගණක දෘඩාංග පාඨමාලාව, පරිගණක යෙදවුම් සහායක පාඨමාලාව, ඇලුමිනියම් පිරිසැකසුම් පාඨමාලාව, කොන්ඩා සැකසුම් පාඨමාලාව, ත්‍රිවිල් සහ යතුරුපැදි අලුත්වැඩියා කිරීමේ පාඨමාලාව, උද්‍යාන අලංකරණ පාඨමාලාව මෙන්ම ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ පාඨමාලාව ආදි විවිධ පාඨමාලා හැදැරූ ආබාධිත රණවිරුවන් 126 ක් වෙත මෙහිදි මෙම ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය පිරිනමන ලදි. රණවිරු සම්පත් කෙන්ද්‍රයේ වාර්තාවලට අනුව ආබාධිත රණවිරුවන් 242 ක් මේ වන විටත් රණවිරු සම්පත් කෙන්ද්‍රයේ දී මුලික පුහුණුව හදාරමින් සිටින අතර, තවත් 291 ක් ඉහත සඳහන් වෘත්තීය පුහුණු පාඨමාලාවන්හි 4 වන මට්ටම යටතේ පාඨමාලා හදාරමින් සිටියි. යුද හමුදාවේ අබාධිත රණවිරුවන් වෙත ජාතික වෘත්තීය සුදුසුතා සහතික පත් ප්‍රදානය කිරීමේ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, පාඨමාලාවේ දේශන සඳහා සම්පත් දායකයින් මෙන්ම තාක්ෂණික සහාය ලබාදෙමින් කිසිදු අපහසුතාවයකින් තොරව එය කරගෙන යාමට හැකිවිම සම්බන්ධයෙන් වෘත්තිය පුහුණු අධිකාරිය වෙත ස්තුතිය ද පුද කළහ. ජාතික වෘත්තීය සුදුසුකම් සහතික පිරිනැමිම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මූලිකත්වයෙන් සිදුකළ අතර, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ගාමිණි හෙට්ටිආරච්චි සහ අධ්‍යක්ෂ පුහුණු එන්.කේ. ඉලේසිංහ මහතා ද මේ සඳහා එක්ව සිටියහ. රණවිරු සම්පත් කෙන්ද්‍රයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්.එච්.එම්. මනතුංග විසින් මෙහි පැමිණි පිරිස පිළිගත් අතර, එහි නියෝජ්‍ය සේනාවිධායක විසින් ස්තුති කථාව සිදු කරන ලදි. යුද හමුදාපති විශේෂිත අදියර යටතේ පාඨමාලාලාභීන් වෙත සහතිකපත් පිරිනැමිමෙන් අනතුරුව, පිළිවෙලින් පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ. පෙරේරා සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් ද සහතිකපත් පිරිනැමිම සිදු කරන ලදි. තවද, සම්ප්‍රදායිකව පොල්තෙල් පහන දැල්වීම, මියගිය රණවිරුවන් වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දතාවයක් පැවැත්වීම, වර්ණවත් නර්තනාංග මෙන්ම රණවිරු සම්පත් කෙන්ද්‍රයේ වාර්තාමය චිත්‍රපටයක් නැරඹීමට අවස්ථාව උදාකරදීම ද මෙදින න්‍යාය පත්‍රයට ඇතුලත් විය. මෙම සම්මාන උළෙල අවසානයේ දී ප්‍රධාන ආරාධිත අමුත්තා වූ යුද හමුදාපතිතුමා විසින් රැස්ව සිටි පිරිස ඇමතූ අතර, ආබාධිත රණවිරුවන් ශාරීරික දුබලතා තිබිය දී ත්, ඔවුන්ගේ අනාගත දායකත්වය අපේ සමාජයට ඵලදායි ලෙස ඉදිරියටත් ලබාදීමට හැකිවන නිසා මෙම සුවිශේෂ කුසලතා ප්‍රශංසාවට ලක් කළහ. ශ්‍රී ලංකා තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය මට්ටම් 7 ක් යටතේ හඳුන්වාදීම සඳහා පියවර ගෙන ඇති අතර, මෙම 7 වන මට්ටම රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල යන දෙකෙහිම උපාධිධාරීන්ගේ උපාධින්ට සමාන වේ. ජාතික වෘත්තීය සුදුසුකම් 7 වන මට්ටම අවසන් වූ පසු එම සිසුන්ට එම්.එස්.සී. හෝ වෙනත් පශ්චාත් උපාධි වැඩසටහනකට ලියාපදිංචි විය හැකිය. තවද, ජාතික වෘත්තීය සුදුසුකම් 5 වන මට්ටම සම්පූර්ණ අයවලුන් හට විදේශ විශ්ව විද්‍යාලයක දෙවන වසර සඳහා ඇතුලත් විය හැක. |