‘සෙනෙහස’ අධ්‍යාපන කේන්ද්‍රය සඳහා විශේෂ අවශ්‍යතා ඒකකයක්

6th July 2016

නාරාහේන්පිට මැනිං ටවුන් හි පිහිටි සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයෙහි හමුදා ,පොලිස් සහ සිවිල් පවුල්වල සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා නව ඒකකයක් බ්‍ර‍හස්පතින්දා (30) දින විවෘත කරනු ලැබීය. සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයෙහි පැවති එම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ සභපතිනි අනෝමා ෆොන්සේකා මහත්මියගේ ආරාධනයෙන් ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමා සහභාගි විය. යුද හමුදාව විසින් හමුදා පවුල් තුළ විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සිටින බව හදුනාගත් අතර, සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රය මගින් ඔවුන්ව පසුගිය වසරේ අවසාන භාගය තෙක් රැකබලා ගනු ලැබීය. මේ අනුව රණවිරු සේවා අධිකාරිය විසින් සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයේ කළමණාකරණය ඔවුන් වෙත ලබා දෙන ලෙස කළ ඉල්ලීමට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ප්‍ර‍තිචාර දක්වන ලදී. සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍ර පිවිසුම් දොරටුව අසලදී එහි නේවාසිකයින් විසින් බුලත් හුරුලු පිරිනමමින් නව ඒකකය විවෘත කිරීමට පැමිණි ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා සහ යුද හමුදාපතිතුමා පිළිගනු ලැබූ අතර, අනෝමා ‍ෆොන්සේකා මැතිණිය විසින් එම පිරිස නිල වශයෙන් පිළිගනු ලැබීය. මෙම චාම් උත්සවය දිවා කාලයේදී අධ්‍යාපනය සහ රැකවරණය ලබන දරුවන්ගේ සෞන්දර්යාත්මක අංගයන්ගෙන් වර්ණවත් විය. මෙම අවස්ථාව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් උපුල් අල්විස් මහතා, යුද හමුදා මාණ්ඩලික ප්‍ර‍ධානී මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත ඇතුළු ගුරුවරුන් ,පාලිකාවන්, පරිපාලන නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගි වූහ.