යුද හමුදාපති පොසොන් පොහොය නිමිත්තෙන් ආගමික වතාවත්වල නිරත වේ

22nd June 2016

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, යුද හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති නයනා ද සිල්වා මහත්මිය සමග එක්ව පොසොන් පොහොය නිමිත්තෙන් ජුනි මස 19 සහ 20 යන දිනයන්හි නැගෙනහිර පලාතේ විවිධ ආගමික වැඩසටහන් සඳහා එක් විය. බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ දන්ත ධාතූන් වහන්සේ ප්‍ර‍දර්ශණයට ගරු බුහුමන් දැක්වීම හා එම ප්‍ර‍දර්ශණයට සමගාමීව පවත්වනු ලැබූ ආගමික වැඩසටහන සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි වූ අතර, මේ සඳහා 24 වන සේනාංක භට පිරිස් සිය දායකත්වය ලබා දී තිබිණි. එහිදී භට පිරිස් සහ බෞද්ධ කොඩි සිය ගණනකින් වර්ණවත් වූ පෙරහැරකින් යුද හමුදාපතිතුමා විසින් සර්වඥ ධාතූන් වහන්සේ වතාවත් සිදු කිරීම සඳහා වඩම්මවන ලදි . එමෙන්ම එහිදී බුද්ධංගල විහාරයේ විහාරාධිපති පූජ්‍ය දීඝවාපියේ සුසීම හිමිගේ ආරාධනයෙන් එම ආරාම භූමියේ ඉදි කරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම ද එදින යුද හමුදාපති විසින් සිදු කළ අතර, භික්ෂූන් වහන්සේලා විසින් කළ ඉල්ලීමකට අනුව 24 වන සේනාංක සෙබලුන් සහ ඉංජිනේරු සෙබලුන් විසින් එම ගොඩනැගිල්ල ඉදි කරන ලදී. අනතුරුව නාමල්වත්ත ශෛලබිම්භාරාමයේ විහාරාධිපති පූජ්‍ය ගම්පහ නාරද හිමිගේ ආරධනයෙන් යුද හමුදාපතිතුමා විසින් රණවිරු මහා සෑය විවෘත කරනු ලැබූ අතර, බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. යුද හමුදාපතිතුමා බුද්ධංගල විහාරයේ රැදි සිටි කාලය අතරතුර භට පිරිස් සමග අදහස් හුවමාරුකර ගත් අතර, ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳවද අදහස් විමසන ලදී. එම අවස්ථාව සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රෝහණ බණ්ඩාර, බලසේනාධිපතිවරුන්, අණ දෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් බොහෝ පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.