විපතට පත් කොස්ගම පවුල් සදහා යුද්ධ හමුදාවෙන් ගෑස් ලිප්

19th June 2016

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්වීම යටතේ කොස්ගම ප්‍ර‍දේශයේ විපතට පත් ජනතාවට ක්‍ෂණිකව යුද්ධ හමුදාවෙන් ලබාදෙන සහනයක් වශයෙන් ගෑස් ලිප් 50 ක් බ්‍ර‍හස්පතින්දා (16) දින කොස්ගම බොරළුගොඩ පිහිටි ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ පැවැති චාම් උත්සවයකදී බෙදාදෙන ලදි. බොරළුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරාධිපති පූජ්‍ය හේවැල්වල ඥාණානන්ද හිමිපාණන්ගේ යෝජනාවකට ප්‍ර‍තිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා තමන්ගේ නිලධාරීන් හට කඩිනමින් උපදෙස් ලබාදී විපතට පත් සිවිල් ජනතාව හට ගෑස් ලිප් යුද්ධ හමුදා වියදමින් ලබාදීමට කටයුතු සම්පාදනය කරන ලදි. මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිවරයා නියෝජනය කරමින් බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලික කර්නල් කේ.පී.එස්.ඒ ප්‍ර‍නාන්දු, සීතාවක ප්‍රාදේශීය ලේකම් බණ්ඩාර මාපා මහතා, බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන සිවිල් සම්බන්ධීකරණ නිළධාරී ලුතිතන් කර්නල් හේමන්ත පෙරේරා එක්වූ අතර, විපතට පත් ජනතාව විහාරස්ථානයට එක්රැස් වූ පසු ගෑස් ලිප් බෙදාදීම සිදුකරන ලදි. මේ අවස්ථාවට විහාරාධිපති හිමියන් ඇතුළු තවත් සංඝයාවහන්සේලා කිහිප නමක් සහභාගී විය. කොස්ගම ප්‍රදේශයේ සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමේදී යුද්ධ හමුදාව මූලිකත්වය ගෙන හැකි මානුෂීය සහායක්ම එම ජනතාව වෙත ලබාදෙන ලදි. එනම් අළුත්වැඩියා කටයුතු, නැවත ඉදිකිරීම්, සුද්ධ පවිත්‍රකිරීම්, ජලය පිරිපහදු කිරීම්, ඇගයීම් වාර්තා, ආහාර සැපයීම, තාවකාලික කූඩාරම් ඉදිකිරීම සහ ජංගම වැසිකිලි ඉදිකිරීම් යනාදී වේ. විශේෂ සැලසුම් යටතේ යුද්ධ හමුදාධිපතිතුමා විසින් ගත් නව ක්‍රියාමාර්ගයක් ලෙස විපතට පත් පවුල්වල පාසල් සිසුන් සදහා නිලඇදුම් මසාදීම, අවශ්‍ය පොත්පත් සහ පාසල් උපකරණ ලබාදීම සිදුකළ අතර, බදාදා (15) දින යුද්ධ හමුදාව විසින් මසන ලද පාසල් නිළ ඇදුම් මෑතකදී සිදුවූ ගංවතුරෙන් සහ කොස්ගම විපතට පත්වූවන් අතර ද බෙදාදීම ආරම්භ කරන ලදි.