මිහිඳු සෙත් මැඳුරේ 5 වන සංවත්සරය නිමිත්තෙන් ආශීර්වාද පතා ආගමික වතාවත් ඉටු කෙරේ

3rd June 2016

පූර්ණාබාධිත වූ රණවිරුවන් වෙත සියලු චිකිත්සක උපදේශන සැපයීම සහ පුළුල් වෛද්‍ය උපදෙස් ලබාදෙමින් ඔවුන් දිවි ඇති තෙක් රැක බලා ගැනීමට හා නේවාසිකව ප්‍ර‍තිකාර ලැබීමට ද අවස්ථාව උදාකර දී ඇති අත්තිඩිය කේන්ද්‍ර‍කොට ගනිමින් ඉදි කළ ‘මිහිඳු සෙත් මැඳුර’ සඳුදා (30) දින සිය 05 වන සංවත්සරය සමරන ලදි. ඉතා නිස්කලංක පරිසරයක ජල මාර්ග සහ පොකුණුවලින් සමන්විතව සියලු සනිපාරක්ෂක පහසුකම් ද ඇතුලත්ව 2011 මැයි මස ආරම්භ කළ මිහිඳු සෙත් මැඳුරෙහි පුර්ණාබාධිත රණවිරුවන් වෙනුවෙන් අවැසි චිකිත්සක ප්‍ර‍තිකාර සහ පුනරුත්ථාපන කටයුතු ආදිය දිවි ඇති තෙක් ලබාදීම සඳහා කටයුතු සලසා ඇත. මෙහි පුර්ණාබාධිත රණවිරුවන් 45 ත් 50 ත් අතර පිරිසක් නේවාසිකව ප්‍ර‍තිකාර ලබන අතර, ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ දූ දරුවන් සමඟ කෙටි කාලයක් ගත කිරිමට අවස්ථානුකූලව මෙම ස්ථානයේ නවාතැන් පහසුකම් වරින්වර සලසා දී ඇත. මිහිඳු සෙත් මැඳුර මෙම වසරේ සිය 5 වන සැමරුම උත්සවාකාරයෙන් සංවිධානය කලේ එහි සේනාවිධායක කර්නල් රොලන්ඩ් බෝගොඩවත්තගේ සංවිධායකත්වයෙන් සහ පුනරුත්ථාපන අධ්‍යක්ෂකතුමාගේ අධික්ෂණය යටතේය. එම සැමරුම් උත්සවය සඳහා සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසු දින මහා සංඝරත්නය විෂයෙහි හීල් දානය පිරිනැමිම ඇතුලු ආගමික වතාවත් ද ඇතුලත් විය. සඳුදා (30) පස්වරුවේ පිරිත් සජ්ජායනාව පැවති අවස්ථාවට ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහභාගි වූ අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍ර‍ධානි, යුද, නාවික සහ ගුවන් හමුදාපතිවරු මෙන්ම පොලිස්පතිතුමා විසින් ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා පිළිගනු ලැබිය. පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එස්.කේ. තිරුණාකරිසු සහ මිහිඳු සෙත් මැඳුරේ සේනාවිධායක කර්නල් රොලන්ඩ් බෝගොඩවත්ත ද මීට එක්ව සිටියහ. බෞද්ධ චාරිත්‍ර හා පිළිවෙත්වලට අනුගත වෙමින් වර්ණවත් පෙරහැරකින් සධාතුක කරඬුව සහ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කරවනු ලැබීය. ඉංජිනේරු හෙට්ටිආරච්චි මහතා විසින් ගෞරව පෙරදැරිව සධාතුක කරඩුව වැඩම කර වූ අතර, පිරුවානා පොත් වහන්සේ ද පිරිත් මණ්ඩපය තුල තැන්පත් කරන ලදි. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක සහ බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරි පූජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයට පිරිත් දේශනය සඳහා දැහැත් වට්ටිය පිළිගන්වා ආරාධනා කරන ලදි. එහි දි අනුශාසනාවක් ද සිදු කරමින් මෙම රණවිරුවන්ට මෙන්ම මිහිඳු සෙත් මැඳුරේ 5 වන සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද කෙරුනි. පසුදින (31) උදෑසන සංඝරත්නය 39 ක් විෂයෙහි හිල් දානය පිරිනැමිම සිදු වූයේ සංවත්සර වැඩසටහන්වලට සමගාමිවය. ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා, යුද හමුදා මාණ්ඩලික ප්‍ර‍ධානි මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍ර‍ධානි මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා සහ තවත් ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම උත්සවයට එක්ව සිටියහ. |