යුද හමුදාපති අරණායක ප්රසදේශයේ රාජකාරියේ නියුතු භට පිරිස් හමුවේ

28th May 2016

නායයෑමට ලක් වූ අරණායක ප්‍රදේශයේ බදාදා (25) දින පස්වරුවේ සංචාරය කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා එම ප්‍රදේශයේ රාජකාරියේ නියුතු 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 8 වන විජයබාහු රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් හමු වූ අතර, ඔවුන්ගේ සුවදුක් විමසා බලමින් මෙතෙක් ඉටු කළ කාර්යභාරය අගය කිරීම ඔවුනගේ චිත්ත ධෛර්යය නැංවීමට හේතු විය. මෙම සංචාරයේ දී ප්‍ර‍ථමයෙන්ම යුද හමුදාපතිතුමා 58 වන සේනාංකය විසින් අරණායක ප්‍රදේශයේ පිහිටුවා ඇති තාවකාලික මෙහෙයුම් මූලස්ථානය වෙත පැමිණි අතර, එහි දී එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කාවින්ද ගුණවර්ධන විසින් සිදු කෙරෙමින් පවතින සෝදිසි සහ මුදවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳ තොරතුරු පැහැදිලි කළේය. අනතුරුව යුද හමුදාපතිතුමා නායයෑමට ලක් වු ප්‍රදේශවල නිරීක්ෂණයෙහි නිරත වූ අතර, ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින් ද එක් වූහ. නායයෑමට ලක් වූ ප්‍රදේශයේ දී එහි වැඩකටයුතුවල නිරත වූ භට පිරිස් සමඟ කතාබහ කළ යුද හමුදාපතිතුමා වෙත ඔවුන් සිදු කෙරන කාර්යයන් පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අතර, එහි දී කළ හැකි දේ සහ එහි සීමාවන් පිළිබඳ සාකච්ඡා කරන ලදී. පවතින තත්වය හමුවේ මෙම භට පිරිස් වෙත අවශ්‍ය අත් ආවරණ, මුහුණු ආවරණ, විෂබීජනාශක වර්ග ආදි සනීපාරක්ෂාව සඳහා අවැසි උපකරණ මෙන්ම වෛද්‍ය උපදේශන ලබාදීමට යුද හමුදාපතිතුමා අදාල ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට අවැසි උපදෙස් ලබා දුන්නේය. බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කාවින්ද ගුණවර්ධන, බල සේනාධිපතිවරු සහ අණ දෙන නිලධාරීන් ද යුද හමුදාපතිතුමාගේ මෙම සංචාරයට එක්ව සිටියහ.