ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ පිළිරුවක් යුද හමුදාපති කාර්යාලයේ දී නිරාවරණය කරයි

19th May 2016

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් ජී.එස්.සී ෆොන්සේකා ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත්වීමෙන් පසු බදාදා (18) දින ප්‍ර‍ථම වතාවට කොළඹ 03 යුද හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර, එහි දී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් හමුදා සම්ප්‍රදායානුකූලව ආචාර සම්මාන පෙලපාලියක් පිරිනමනු ලැබීය. මෙලෙස ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා හට ආරක්ෂක අමාත්‍යාංශ ක්‍රීඩාංගණයේ දී සම්මාන මුරයක් පිරිනැමු අතර, යුද හමුදා මුලස්ථාන බල ඇණියේ අණ දෙන නිලධාරි ලුතිතන් කර්නල් අනිල් සෝමවීර එම අවස්ථාවේ හෙතෙම පිළිගනු ලැබීය. පසුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සහ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත විසින් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා පිළිගෙන සම්මාන පෙලපාලිය පිරිනැමීමට නියමිත ස්ථානයේ පීඨිකාව වෙත කැඳවා ගෙන යනු ලැබීය. එහි දී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෙම සම්භාවනීය අමුත්තා වෙත විශේෂ සම්මාන පෙලපාලිය පිරිනැමීය. අනතුරුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යුද හමුදාපති කාර්යාල පිවිසුම අභියස දී නිල වශයෙන් ෆීල්ඩ් මාර්ෂල් ජී.එස්.සී ෆොන්සේකා පිළිගනු ලැබුවේ මහත් ගෞරවයෙනි. එහි දී යුද හමුදාපතිතුමා විසින් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා වෙත යුද හමුදා ප්‍ර‍ධාන මාණ්ඩලික නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හඳුන්වා දුන්නේය. එමෙන්ම යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය විසින් හිටපු හමුදාපති බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය උණුසුම් අයුරින් පිළිගෙන යුද හමුදාපති කාර්යාලය වෙත කැටුව යන ලදී. මෙම උත්සවයේ උච්චතම අවස්ථාව වුයේ හිටපු යුද හමුදාපති වූ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ පිළිරුව නිරවරණය කිරීමට යුද හමුදාපතිතුමා විසින් එවකට හිටපු යුද හමුදාපති වූ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා වෙත ආරාධනය කිරීමයි. මෙම මතකයන් පිළිබඳ පිළිසඳර අවසානයේ උත්සවය අවසන් විය. මෙම අවස්ථාව සිහිගන්වමින් යුද ප්‍ර‍වීනයෙක් ලෙස ප්‍රකට ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා වෙත යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් විශේෂ සමරු තිළිණයක් ද පිරිනැමීය. අනතුරුව ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා යුද හමුදාපති කාර්යාලයේ තබා ඇති විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සටහනක් ද තබනු ලැබීය. නයනා ද සිල්වා මහත්මිය විසින් එම අවස්ථාවට සහභාගි වූ අනෝමා ෆොන්සේකා මහත්මිය වෙත ද සමරු තිළිණයක් පිරිනැමුවාය. යුද හමුදා මාණ්ඩලික ප්‍ර‍ධානී මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍ර‍ධානී මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, ශ්‍රී ලංකා යුද හමුදා ස්වෙච්ඡා බල සේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක, හමුදා ලේකම් මේජර් ජෙනරාල් ජනක වල්ගම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, මූල්‍ය කළමණාකරන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් රේණුක උඩවත්ත, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍ර‍ධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි වූහ.