‘සවිබල’ විශේෂ ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරයි

7th May 2016

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමුකළ යෝජනාවකට අනුව විශේෂයෙන්ම යුද හමුදා සාමාජිකයින් වෙනුවෙන්ම ප්‍ර‍තිලාභ රැසක් ලබාදෙන විශේෂ ඉතිරි කිරිමේ ගිණුමක් අද (06) දින යුද හමුදා මූලස්ථානයේ දී හඳුන්වාදුන් අතර, එය ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ව්‍යාපෘතියකි. ‘සවිබල’ නමින් හඳුන්වාදුන් මෙම ගිණුම තැන්පතු ක්‍ර‍මවේද දෙකකට අනුව විශේෂ පස් අවුරුදු ඉතුරුම් ගිණුමක් ලෙස 2016 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කර ඇත. මෙහි මුලික තැන්පතුව රුපියල් 1000 ක් වන අතර, ගිණුමේ කල්පිරිමේ වටිනාකමට සමාන රුපියල් ලක්ෂ 05 ක් දක්වා වන රක්ෂණ ආවරනයක් ලබාදෙයි. තවද, මීට අමතරව විශේෂ සහන පොලියට පුද්ගලික ණය ද, දරුවන් වෙනුවෙන් ‘හපන්’ ළමා ඉතිරි කිරිමේ ගිණුමක් ද මෙමඟින් හඳුන්වා දී ඇත. තැන්පතු ක්‍ර‍මවේදය 1 යටතේ යුද හමුදා සාමාජිකයෙකු සෑම මසකම රුපියල් 1000 බැගින් තැන්පත් කළ විට වසර 05 අවසානයේ පොලීයත් සමඟින් ඔහු වෙත රුපියල් 72,980 ක මුදලක් හිමි වේ. තැන්පතු ක්‍ර‍මවේදය 2 යටතේ වසර 05 අවසානයේ දී රුපියල් 180,000ක් තැන්පත් කර ඇති අතර, පොලියත් සමඟින් ඔහු වෙත රුපියල් 208,054 ක මුදලක් ලබාගත හැක. සිකුරාදා දින යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍ර‍ධානත්වයෙන් පැවති මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේ දී දියතලාව, ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ කෙඩෙට් නිලධාරීන් 05 දෙනෙකු සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කෙඩෙට් නිලධාරීන් 05 දෙනෙකු මෙන්ම පුත්තලම ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ ආධුනික සෙබලුන් 10 දෙනෙකු වෙත සංකේතාත්මකව ‘සවිබල’ ඉතිරි කිරිමේ පොත් 20 ක් මෙහිදි ප්‍ර‍දානය කරන ලදි. සභාපති අශ්වින් ද සිල්වා මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී ‍ස්.ඩි.එන්. පෙරේරා මහතා ප්‍ර‍මුඛ ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මෙම උත්සව සභාව අමතමින් දිගුකාලීන ප්‍ර‍තිලාභ ලබාදෙන මෙම ඉතිරි කිරීමේ ක්‍ර‍මවේදය යුද හමුදා සාමාජිකයන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහා ක්‍රියාත්මක කරන බව අවධාරනය කරන ලදි. තවද මෙහිදි ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ නිලධාරීන් මෙන්ම යුද හමුදා මුලස්ථානයේ සුබසාධක අධ්‍යක්ෂතුමා ද උත්සව සභාව ඇමතුහ.