හම්බන්තොට දී තවත් රණවිරුවන් පිරිසකට ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් ප්‍රදානය කෙරේ
5th May 2016
‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පිරිනැමීමේ තවත් එක් අදියරක් (30) උදෑසන දකුණු පළාත කේන්ද්‍රකොට ගනිමින් හම්බන්තොට දී පැවැත්වුනු අතර, එහි දී ආබාධිත රණවිරුවන් සහ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් 1180 දෙනෙක් වෙත ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් බෙදා දෙනු ලැබීය. එහි දී ගරු ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා (800), නාවික හමුදා (100), පොලිස් (173), ගුවන් හමුදා (100) සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (07) සාමාජිකයින් සහ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පිරිනැමීමේ අදියර - V සිදු කෙරිනි. මෙම කාඩ්පත මගින් වෛද්‍ය, ආහාර ද්‍රව්‍ය, ගමනාගමන පහසුකම්, රෝහල් පහසුකම්, ණය ගනුදෙනු, වෘත්තිය පාඨමාලා ආදිය සහ තවත් පහසුකම් සඳහා දිවයිනේ ප්‍රධාන පෙලේ වාණිජ ආයතන 45 කට අධික ප්‍රමාණයකින් ප්‍රතිලාභ සහ වට්ටම් ප්‍රදානය කිරීම සිදු වන අතර, අමිල මෙහෙයක් කළ ආබාධිත රණවිරුවන් ඇතුළු රණවිරුවන් වෙත සමාජයේ ගෞරවාන්විත ප්‍රමුඛත්වයක් ලබාදීම ද මෙහි තවත් අරමුණකි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී කිත්සිරි මහතා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිළධාරීන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂඨ නිළධාරියෙක් ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් සහභාගි වූහ. එම අවස්ථාවේ අමාත්‍යවරයාගේ සම්ප්‍රාප්තියෙන් පසු ශ්‍රවණාගාරයේ දී සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දල්වා උත්සවය ආරම්භ කරනු ලැබීය. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආශිර්වාදය මධ්‍යයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ සංකල්පයක් මත රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මියගේ මග පෙන්වීම අනූව යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට සහ ආබාධිත රණවිරුවන් ඇතුළු විරුවන් වෙත ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ප්‍රදානය කිරීම උත්සවාකාරයෙන් සිදු කෙරිනි. දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් ඇතුළු ලක්ෂ තුනකට අධික රණවිරුවන් වෙත මෙම ව්‍යාපෘතිය තුලින් එළඹෙන අප්‍රේල් මාසය වන විට අදියර 6 ක් තුල ඉහත හිමිකම් කාඩ්පත ලබාදීමට සැලසුම් කොට ඇත.