‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් - 2016’ දියතලාවේ දී
29th April 2016
වසරේ දැවැන්ත මෝටර් රථ ධාවන තරඟාවලිය වන ‘දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ 2016 අප්‍රේල් මස 24 වන ඉරිදා හමුදා ජනපදයක් වන දියතලාවේ දී පැවැත්විය. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය මෙම තරඟාවලිය නැරඹිම සඳහා පැමිණ සිටියහ. මෙම මෝටර් රථ ධාවන තරඟාවලිය ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ ක්‍රීඩක සංගමයෙහි සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨය විසින් සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකාව තුල පැවැත්වෙන දැවැන්ත මෝටර් රථ ධාවන තරඟාවලියක් වූ මෙම තරඟාවලිය 24 වන වරටත් මෙසේ පැවැත් වූ අතර, මෙහි දී කිලෝමීටර් 2 ක් දුරැති අද්විතීය ධාවන පථයක දී මෝටර් රථ සහ යතුරු පැදි ධාවකයින් සිය ධාවන හැකියාවන් ප්‍රදර්ශනය කරනු ලැබීය. මෙම වසරේ පැවති තරඟාවලිය සඳහා යතුරුපැදි ඉසව් 12 ක් සහ මෝටර් රථ හා ජීප් රථ තරඟ ඉසව් 12 සමගින් තරඟ ඉසව් 24 ක් සඳහා යතුරු පැදි ධාවකයින් 149 දෙනෙක් සහ මෝටර් රථ රියදුරන් 190 දෙනෙක් සහභාගි වූහ. මෙලෙස පැවැත් වූ තරඟාවලිය නැරඹීමට නරඹන්නන් 25,000 කට අධික පිරිසක් පැමිණ සිටියහ.