ලැබුවාවූ 2016 අලුත් අවුරුද්ද අළුත් සිතුවිලි, සතුට සහ සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

19th April 2016

වර්ෂ 2016 සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමා විසින් නිකුත් කරනු ලබන සුබ පැතුම් පණිවුඩය ශ්‍රී ලංකාවාසී සියලූම සිංහල හා දමිළ ජනතාව විසින් චිරාගත සම්ප්‍රදායානුකූලව සමරනු ලබන, ‘සූර්ය මංගල්‍යය’ හෙවත් සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් වෙත, හදපිරි සතුටින් යුතුව මාගේ සුබ පැතුම පිරිනමමි. සූර්යයා මීන රාශියෙන් නික්ම, මේෂ රාශියට සම්ප්‍රාප්තවීමත් සමග අලුත් අවුරුදු උදාව සනිටුහන් වන බව ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ හා පෙරදිග තාරකා විද්‍යාවේ පිළිගැනීමයි. ඒ අනුව මිනිසුන් හා සොබාදහම අතර පවතින සබඳතාව මෙන්ම අන්තර් මානුෂීය සබඳතාවන්ද වඩාත් ශක්තිමත් කරමින්, උදාවන මෙම සුවිශේෂී සංස්කෘතික මංගල්‍යයේ ප්‍රධානතම අරමුණ බවට පත්වන්නේ, මුළු රටම එකම මොහොතක, එකම සුබ මුහුර්තයක පිහිටා සිය ආගමික වතාවත්හි යෙදෙමින්, තමන් වෙත එළඹෙන්නාවූ අනාගතය වඩාත් යහපත් අන්දමින් ගතකිරීම සඳහා අවැසි අඩිතාලම සකසා ගැනීමයි. එහිදී, පවුලේ සියලුම සාමාජිකයන් එකට එකතුවී, ඥාතීන් හා අසල්වාසීන් අතර සුහදශීලීත්වය වඩ වඩාත් ශක්තිමක් කර ගනිමින්, කිසිදු ජාති, වර්ග, කුල භේදයකින් තොරව සෑම ජනකොටසක් වෙතම මිත්‍රත්වය පැතිරවීම සඳහා ලබාගත හැකි පිටුබලය ඉමහත්ය. එබැවින්, අලුත් අවුරුදු උදාවේ සැබෑ පරමාර්ථය, රටේ සියලුම පුරවැසියන් හට යථාර්ථයක් බවට පත්කරදීම සඳහා අවැසි සාමකාමී පසුබිම රට තුළ නිර්මාණය කරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් වශයෙන් අප විසින් මේ වනවිට සුවිශේෂී කාර්යභාරයක් ඉටුකර තිබෙන අතර, එළඹෙන ඉදිරි කාලපරිච්ඡේදය තුලදීද එම කාර්යභාරය මැනවින් ඉටු කරමින්, රටේ ජන ජීවිත සුරක්ෂිත කරලීම සඳහා ඇප කැප වී ක්‍රියාකිරීමේ වගකීම අප සතුව පවතින බව මේ මොහොතේ අවධාරණයෙන් යුතුව සඳහන් කළ යුතුය. දේශයට වැඩදායී විනයගරුක සෙබළ පිරිසක් ලෙස මේ වනවිට ඔබ ලබා ඇති කීර්තිය, තවදුරටත් වර්ධනය කරගනිමින්, පැවරෙන රාජකාරීන් නොපැකිළව ඉටුකිරීම සඳහා අවැසි සියලු ශක්තිය, ධෛර්ය හා වාසනාව, මෙම අලුත් අවුරුදු උදාවේදී ඔබ වෙත නිරතුරු ලැබේවායි ප්‍රාර්ථනා කර සිටින අතර, දේශයේ ස්වෛරීත්වය වෙනුවෙන් සටන්වැද, ජීවිතයෙන් පවා උපරීම කැපකිරීම් සිදුකළ රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත්, රණක්ෂිතයට පත්ව මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින සියලූම රණවිරුවන් හට ඉක්මන් සුව ප්‍රාර්ථනා කර සිටීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි. එසේම, රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල දුවාදරුවන් ඇතුළු ඥාති හිතමිත්‍රාදීන්ටත්, අද වනවිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ සුවිශාල සේවාවක් ඉටුකරමින් සිටින සියලූම රණවිරුවන් හා සිවිල් සේවක කාර්ය මණ්ඩල සාමාජිකයන්ටත්, ඔවුන්ගේ ඥාති හිතමිත්‍රාදීන් ඇතුළු පවුලේ සියලුදෙනාටත්, ලබන්නා වූ අලුත් අවුරුද්ද සාමය, සතුට හා සෞභාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි, ප්‍රාර්ථනා කර සිටිමි. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ! ඒ ඩබ්ලිව් ජේ සී ද සිල්වා ආර්බඩ්ලිව්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ලුතිතන් ජෙනරාල් යුද්ධ හමුදාධිපති