පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබූ අමරණීය සොල්දාදුවන් විසි නවය පිළිබඳව නව ග්‍ර‍න්ථයක්

8th April 2016

ප්‍ර‍වීන ලේඛක ප්‍ර‍සාද් පොල්වත්ත මහතා විසින් රචිත “අමරණීය සොල්දාදුවන් විසි නවය” නම් ග්‍ර‍න්ථය අඟහරුවාදා (5) දින හුණුපිටිය ගංඟාරාමය විහාරස්ථානයේ දී දොරට වඩිනු ලැබීය. යුදබිමේ දී ඉතා නිර්භීතව සටන් කර දේශය වෙනුවෙන් උදාර මෙහෙයක් ඉටු කරමින් පරම වීර විභූෂණ (PWV) සම්මානයෙන් පිදුම් ලැබූ වීරෝදාර රණවිරුවන් 29 දෙනෙකුගේ විස්තර අලලා මෙම ග්‍ර‍න්ථය රචනා කර ඇත. මෙම අවස්ථාවට ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහභාගි වූ අතර, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති, ගුවන් හමුදාපති සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමගින් එම රණවිරුවන්ගේ ළඟම ඥාතීන් සහභාගි වූහ. ගංඟාරාමයේ ප්‍ර‍ධාන සංඝ නායක පූජ්‍ය ගලබොඩ ඥානිස්සර ස්වාමින් වහන්සේගේ ප්‍ර‍ධානත්වයෙන් පැවැත් වූ මෙම උත්සවය සඳහා නාවික සහ ගුවන් හමුදා භට පිරිස් ද පැමිණ සිටි අතර, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් එම වීරෝදාර රණවිරුවන් තම දිවි පරදුවට තබා නිර්භීත ලෙස සටන් කරමින් රටේ ඒකීයභාවය වෙනුවෙන් කරනු ලබන වීර ක්‍රියා විස්තර කරමින් සභාව ඇමතීය. “අමරණීය සොල්දාදුවන් විසි නවය” යන ග්‍ර‍න්ථයෙහි ලේඛක ප්‍ර‍සාද් පොල්වත්ත මහතා පිළිගැනීමේ කතාව සිදුකරමින් වැඩිදුරටත් පවසා සිටියේ දැඩි ආත්ම විශ්වාසයෙන් සහ අභීතව සටන් වැදුනු මෙම විරුවන්ගේ මතකය ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් අතරට එක් කරමින් සැම හදවත් තුල සදා අමරණීය වන බවයි. එම අවස්ථාවට පැමිණ සිටි ආරාධිතයින් වෙත මෙම ග්‍ර‍න්ථයෙහි මංගල පිටපත් ප්‍ර‍දානය කරනු ලැබීය. ග්‍රන්ථයෙහි ඇතුලත් පරම වීර විභූෂණයෙන් (PWV) පිදුම් ලද වීරෝදාර රණවිරුවන්ගේ නම් පහතින් දැක්වේ. 1. දෙවන ලුතිතන් එස්.යූ. අලදෙණිය 2. ලාන්ස් කෝප්‍ර‍ල් වයි.ජි.ජි. කුලරත්න (හසලක ගාමිණි) 3. දෙවන ලුතිතන් කේ.ඩබ්.ටි. නිශ්ශංක 4. මාණ්ඩලික සැරයන් එච්.පී.බි. ගුණසේකර 5. ලාන්ස් කෝප්‍රල් ඩබ්.අයි.එම්. සෙනෙවිරත්න 6. ලුතිතන් කර්නල් ඒ.එෆ්. ලාෆිර් 7. කපිතන් ජි.එස්. ජයන්ත 8. මේජර් ජේ.ඒ.එල්. ජයසිංහ 9. මේජර් කේ.ඒ. ගමගේ 10. කපිතන් යූ.ජි.ඒ.එස්. සමරනායක 11. කපිතාන් එච්.ජී.එම්.කේ.අයි. මේඝවර්ණ 12. සැරයන් එච්.ජි.එස්. බණ්ඩාර 13. කෝප්‍ර‍ල් පී.එන්. සුරංග 14. කෝප්‍ර‍ල් පී.එම්.එන්. පුෂ්පකුමාර 15. කෝප්‍ර‍ල් ඩි.එම්.එස්. චන්ද්‍ර‍සිරි බණ්ඩාර 16. ලාන්ස් කෝප්‍ර‍ල් කේ. චන්දන 17. සාමාන්‍ය සෙබල ආර්.එම්.ඩි.එම්. රත්නායක 18. ලාන්ස් කෝප්‍ර‍ල් ඒ.එම්.එම්.පී. අබේසිංහ 19. ආධුනික සෙබල ඒ.එම්.බි.එච්.ජී. අබේරත්න බණ්ඩාර 20. සාමාන්‍ය සෙබල ටී.ජී.ආර්. දයානන්ද 21. ලුතිතන් පී.එන්. පුන්සිරි 22. දෙවන ලුතිතන් ඩබ්.ඩි. ජයතිලක 23. සැරයන් කේ.ජි.එන්.එල්.ආර්. පෙරේරා 24. කෝප්‍ර‍ල් කේ.පී.ඩී.ටී ගුණසේකර 25 ලාන්ස් කොප්‍ර‍්ල් එච්.ඒ නිලන්ත කුමාර 26. ලාන්ස් කෝප්‍ර‍ල් එස්.වි.ඒ.එම්. පුෂ්පමාල් 27. ලුතිතන් ජේ.එල්.ඩි.එස්. විජේතුංග ( ශ්‍රී ලංකා නාවික හමුදාව) 28. සුළු නිලධාරී කේ.ජී. ශාන්ත ( ශ්‍රී ලංකා නාවික හමුදාව) 29. ස්කොඩ්‍රන් ලීඩර් ටී.ඩි.එස්. සිල්වපුල්ලේ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)