ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා සියලු රෙජිමේන්තු එකට එක්වී සිය 135 වන සංවත්සරය සමරයි

3rd April 2016

වෘත්තීය ක්ෂේත්‍රයේ මෙන්ම සටන් බිමේ දී සාඩම්බර ඉතිහාසයටකට උරුමකම් කියන ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාව අද උදෑසන ( අප්‍රේල් 01) සිය 135 වන සංවත්සරය සැමරු අතර, එහිදි ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් එහි සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක වෙත වර්ණවත් සම්මාන පෙළපාලියක් ද පිරිනමන ලදි. මෙම වසරේ සංවත්සර සැමරුම, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා සියලු රෙජිමේන්තුහි සම්බන්ධිකරණයෙන් මාර්තු 26 දින සිට වඩා දුර්ලභගණයේ ශාක පැළ 13500 කට වැඩි ප්‍ර‍මාණයක් සිටුවීමේ දිවයින පූරා ක්‍රියාත්මක රුක් රෝපණ ව්‍යාපාරයත් සමග ආරම්භ විය. සංවත්සර වැඩසටහනේ ආගමික වතාවත් ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවටත්, යුද හමුදාවටත් ආශිර්වාද පතා බදාදා (30) දින පැවති සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවත් සමඟින් ආරම්භ වූ අතර, පසුදින දානමය පිංකමක් ද පවත්වන ලදි. ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලක ඇතුලු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් මෙම පුණ්‍ය කටයුතු සඳහා එක්ව සිටි අතර, මෙහිදි සේනාවිධායකතුමන් විසින් ධාතු කරඩුව වඩම්මවා සම්ප්‍ර‍දායානුකූලව ස්වාමින් වහන්සේලා වෙත පිරිත් සජ්ජායනය සඳහා ආරාධනා කරන ලදි. එහිදි ප්‍ර‍ධාන අනුශාසනාව නායක ස්වාමින් වහන්සේ විසින් සිදු කළහ. සංවත්සරය නිමිත්තෙන් අද (01) උදෑසන කොස්ගම ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ පැවති උත්සවයේ ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මේජර් ජෙනරාල් චන්න ගුණතිලක වෙත සම්මාන මුරයක් පිරිනමා එහි මධ්‍යස්ථාන සේනාවිධායක විසින් පිළිගත් අතර, අනතුරුව ආචාර සම්මාන පෙළපාලයක් ද එතුමා වෙත පිරිනමන ලදි. මෙම සම්මාන පෙළපාලිය සියලු රෙජිමේන්තු භට පිරිස්ගෙන් වර්ණවත් වූ අතර, එහි අණදෙන්නා ලෙස කර්නල් එස්.බි.කොහොන කටයුතු කරන ලදි. තවද, සේනාවිධායකතුමන් විසින් භට පිරිස් ඇමතීමෙන් මෙදින වැඩසටහන අවසන් විය.