යුද හමුදාපති සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයෙහි සංචාරයක
19th March 2016
කොළඹ 15, රොක් හවුස් හි පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයෙහි අද (18) පෙරවරුවේ සංචාරයක නියුතු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එහි දී සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් එම රෙජිමේන්තු මූලස්ථාන පිවිසුම් දොරටුව අභිසය දී හමුදා ප්‍රධානී පිළිගනු ලැබූ අතර, හමුදා ගෞරවාචාර ද පුද කරනු ලැබීය. තව ද සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු සෙබලුන් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව යුද හමුදාපතිතුමා වෙත ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙලපාලියක් පිරිනමනු ලැබීය. අනතුරුව පෙළපාලි අණදෙන්නාගේ ආරාධනයෙන් යුද හමුදාපතිතුමා සන්නාහ සන්නද්ධ බලකා සෙබලුන් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව ඉදිරිපත් කරනු ලැබූ වර්ණවත් පෙලපාලිය පිරික්සනු ලැබූ අතර, මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් ද ඊට එක් වූවේය. ඉන් පසු සන්නාහ සන්නද්ධ බලකායෙහි මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ටී ගමගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායම විසින් සන්නාහ සන්නද්ධ බලකායේ ආරම්භය, ව්‍යාප්තිය, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් පිළිබඳව යුද හමුදාපතිතුමා දැනුවත් කරනු ලැබීය. අනතුරුව භට පිරිස් අමතමින් යුද හමුදාපතිතුමා සන්නාහ සන්නද්ධ බලකායේ විවිධ වෘත්තීන් හි දිනෙන් දින වර්ධනය වන ජයග්‍රහණ සඳහා ප්‍රශංසා කළ අතර, හමුදාවක් වශයෙන් සෑම මට්ටමකදීම විනය ඉතා උසස් මට්ටමින් පවත්වා ගෙනයෑමේ ඇති වැදගත්කම ද අවධාරනය කරනු ලැබීය. යුද හමුදාපතිතුමා මෙම සංචාරය සිහිගන්වමින් ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය. සන්නද්ධ බලකා නිලධාරී නිවස්නයේ දී හමුදා ප්‍රධානී සහ එම රෙජමේන්තු නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේ දී එම බලකායේ අනාගත සැලසුම් දියත් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් යුද හමුදාපති විසින් ලබා දෙනු ලැබිය. අනතුරුව යුද හමුදාපතිතුමා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථාන භූමියේ ඉදිවෙමින් පවතින රග්බි ක්‍රීඩාංගණය සහ ප්‍රේක්ෂකාගාරය පිළිබඳ තොරතුරු සොයා බැලූ අතර, එහි දී යුද හමුදා ඉංජිනේරුවන් විසින් එහි ඉදිකිරීම් කටයුතු පිළිබඳව යුද හමුදාපතිතුමා හට විස්තර කරනු ලැබීය. එම අවස්ථාව සිහිගන්වමින් සන්නාහ සන්නද්ධ බලකා සේනාවිධායක මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් විසින් යුද හමුදාපතිතුමා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.