යුද හමුදාපති විදේශගතවිමට නියමිත බලඇණියේ උපකරණවල තත්වය සහ ප්‍ර‍මිතිය නිරීක්ෂණය කරයි

1st March 2016

විදේශගතවීමට නියමිත සංග්‍රාමික ප්‍ර‍වාහන බලඇණියේ උපකරණවල තත්වය සහ ප්‍ර‍මිතිය නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සඳුදා (29) පෙරවරුවේ පනාගොඩ යුද හමුදා ජනපදයේ සංචාරයක නිරත වූවේය. යුද හමුදාපතිතුමා සමඟින් යුද හමුදා මාණ්ඩලික ප්‍ර‍ධානි මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍ර‍ධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බී.ඒ පෙරේරා, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදා නිෂ්පාදන අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් ටී.එන් ජයසූරිය, බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිමේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, සැපයුම් සහ ප්‍ර‍වාහන අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් කේ.ඒ.පී වික්‍ර‍මසිංහ, සැලසුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්.ආර්.පී ද සිල්වා ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම උපකරණ ඇතුලත් ප්‍ර‍දර්ශනය නැරඹීමට එක්ව සිටියහ. මෙම යුද උපකරණ පිළිබඳ අදාල විස්තර ප්‍ර‍ර්ශනය නැරඹීමට ප්‍ර‍ථම සැලසුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ්.ආර්.පි. ද සිල්වා විසින් යුද හමුදාපතිතුමා වෙත පැහැදිලි කර දෙනු ලැබීය. මෙම උපකරණ දැකබලා ගැනීම පිණිස මුතුකුමරු ක්‍රීඩා පිටිය වෙත පැමිණි යුද හමුදාපතිතුමා පිළිගනු ලැබුවේ යුද හමුදා මාණ්ඩලික ප්‍ර‍ධානි මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් විසිනි. විවිධ කටයුතු සඳහා යොදා ගන්නා වාහනවල උපකරණ, බිම්බෝම්බ ඉවත් කිරීමේ සහ පුපුරණ ද්‍ර‍ව්‍ය හඳුනා ගැනීමේ උපකරණ, වෛද්‍ය උපකරණ සහ වෙනත් උපකරණ ආදිය මෙහි දී ප්‍ර‍දර්ශනය කළ අතර, යුද හමුදාපතිතුමා මෙම උපකරණ නිරීක්ෂණය කළේය. තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.