කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන කොමිෂන් නොලත් නිලධාරී නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කරයි
19th February 2016
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා බ්‍රස්පතින්දා (18) දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයෙහි සංචාරයක නිරත වූ අතර, එහිදී එම රෙජිමේන්තුවේ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා ඉදි කරනු ලැබූ නව තෙමහල් ගොඩනැගිල්ල යුද හමුදාපතිතුමා විසින් විවෘත කරනු ලැබීය. එහිදි කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති බ්‍රිගේඩියර් රැල්ෆ් නුගේරා විසින් යුද හමුදාපතිතුමා උණුසුම් අයුරින් පිළිගත් අතර, කමාන්ඩෝ රෙජිමේන්තු සෙබලුන් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව ආචාර සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙළපාලියක් ද පිරිනමනු ලැබීය. අනතුරුව ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් දේශය වෙනුවෙන් දිවි පිදූ කමාන්ඩෝ රෙජිමේන්තු සෙබලුන් සිහිකරමින් එම රෙජිමේන්තු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා කැඳවාගෙන යනු ලැබීය. එම අවස්ථාවෙන් පසු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පෙළපාලියෙහි අණ දෙන්නා සමගින් කමාන්ඩෝ රෙජිමේන්තු සෙබලුන් හමුදා සම්ප්‍රදායානුකූලව ඉදිරිපත් කරනු ලැබූ වර්ණවත් සම්මාන පෙළපාලිය පිරික්සනු ලැබීය. අනතුරුව කමාන්ඩෝ සෙබලුන් ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා සුදානම් බව විදහා දක්වමින් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම හා ප්‍රතිත්‍රස්ත ක්‍රියා අභ්‍යාසයක් හමුදාපතිතුමා ඉදිරිපිට දී විදහා දක්වන ලදි. ඉන්පසු කමාන්ඩෝ රෙජිමේන්තු අධිපතිගේ ආරාධනයෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් එම රෙජිමේන්තුවෙහි කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා ඉදි කරනු ලැබූ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කරනු ලැබීය. කොමිෂන් නොලත් නිලධාරීන් 171 දෙනෙකු සඳහා අවශ්‍ය පහසුකම් සමගින් ඉදි කරනු ලැබූ මෙම තෙමහල් ගොඩනැගිල්ලට 2014 වර්ෂයේ මුල්ගල තැබූ අතර, මෙම ගොඩනැගිලි සංකීර්ණය 2014 සහ 2015 වර්ෂයේ වාර්ෂික යුද හමුදා අරමුදලෙන් රුපියල් මිලියන 38 වැය කර ඉදි කර ඇත. අනතුරුව යුද හමුදාපතිතුමා විසින් කමාන්ඩෝ රෙජිමේන්තු සෙබලුන් ඇමතූ අතර, එහිදී නිවාඩු නිකේතනයක් පරිශ්‍රයේ ඇති පිහිනුම් තටාකයෙහි ගිලී සිටි මුස්ලිම් පාසල් සිසුවෙකුගේ දිවි බේරා ගත් කෝප්‍රල් එම්.පී.එම්.ජී.එස් වික්‍රමරත්නගේ නිර්භීත ක්‍රියාව විශේෂ ඇගයීමකට ද ලක් කරන ලදී. (ඒ පිලිබඳව විස්තර උණුසුම් පුවත් මගින් දැක ගත හැක) මෙම සංචාරය සිහිගන්වමින් යුද හමුදාපතිතුමා එම රෙජිමේන්තු මූලස්ථානයේ පැළයක් රෝපණය කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ද අත්සන් තබනු ලැබීය. එමෙන්ම, එදින කමාන්ඩෝ රෙජිමේන්තු ශ්‍රවණාගාරයේ දී සියලු නිලයින්ගේ සහභාගීත්වයෙන් පැවති තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව, එම රෙජිමේන්තු අධිපති විසින් ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හට සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.