විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී කාරියවසම් සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 පෙබරවාරි මස 14 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය.
මෙම සුහද හමුව අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී මෙන්ම පශ්චාත් යුද සමයේදී අභියෝගාත්මක භූමිකාවන්හි නිරත වෙමින් දැක්වූ කැපවීම සහ ආදර්ශමත් සේවය පැසසුමට ලක්කළේය. තවද, විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව අභියෝගාත්මක භූමිකාවන්හි නිරතව සිටින කාලසීමාවේ එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් එම පවුලේ සාමාජිකයන් වෙත ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය රාජකාරි කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබාදුන් දිරිගැන්වීම් සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මඟපෙන්වීම් පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයන්ද ප්‍රදානය කළේය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1990 සැප්තැම්බර් මස 02 දින පාකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 02 යටතේ යුද්ධ හමුදා නිත්‍ය බලකායට බැඳුනු මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී කාරියවසම් දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ පාකිස්තානු යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව 1991 මාර්තු මස 13 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙත අනුයුක්ත කරන ලදී. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද එතුමන් 2023 ඔක්තෝබර් මස 10 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 ජනවාරි මස 19 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විශ්‍රාම ලබන විට 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවිය.
එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ, 3 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ රැළිභාර නිලධාරි, සන්නාහ සන්නද්ධ පුහුණු මධ්‍යස්ථානයේ ඛණ්ඩභාර නිලධාරි, 1 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ රැළිභාර නිලධාරි, 1 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ‘සී’ බලඝණයේ දෙවන අණදෙන නිලධාරි, 1 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහකාර විධායක අධිකාරි, 6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ විධායක අධිකාරි, 6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ තාක්‍ෂණික විධායක අධිකාරි, 6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ‘ඒ’ බලඝණයේ නිලධාරි අණදෙන, සන්නාහ සන්නද්ධ පුහුණු මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර පුහුණු බලඝණයේ නිලධාරි අණදෙන, 5 විමර්ශන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ‘බී’ බලඝණයේ නිලධාරි අණදෙන, 5 විමර්ශන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මූලස්ථාන බලඝණයේ නිලධාරි අණදෙන සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි II (පාලන) වැනි ධූරයන් රැසක් හොබවා ඇත.
එමෙන්ම, 8 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ දෙවන අණදෙන නිලධාරි, 57 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (සම්බන්ධීකරණ), ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි I (පාලන), 9 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි, 1 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක සම්බන්ධීකාරක, සන්නාහ සන්නද්ධ බලසේනාවේ මාණ්ඩලික නිලධාරි I, ජාතික රයිෆල් සංගමයේ මාණ්ඩලික නිලධාරි I, සන්නාහ සන්නද්ධ පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ, ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් (ජනමාධ්‍ය), 212 පාබල බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක සහ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි ප්‍රධාන ධූරයන් ද එතුමන් විසින් සාර්ථකව හොබවා ඇත.
එතුමන් සිය හමුදා දිවිය තුළදී, මූලික ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලාව, නිලධාරි විශිෂ්ඨතා පාඨමාලාව, කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩිතැබීමේ සම්මේලනයේ මූලික ආරක්‍ෂක පාඨමාලාව, කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලාව - පාකිස්ථානය, ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව - බංගලාදේශය, තරුණ නිලධාරි (සන්නාහ සන්නද්ධ) පාඨමාලාව - පාකිස්ථානය, බීටීආර් 80 සහ 80 ඒ සන්නද්ධ රථ පුහුණු පාඨමාලාව - රුසියාව, සන්නද්ධ රථ උපදේශක නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ මාණ්ඩලික පාඨමාලාව සමඟින් මධ්‍ය වෘත්තීය පාඨමාලාව - පාකිස්ථානය, සංග්‍රාමික කණ්ඩායම් අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ බලඇණි අණදෙන නිලධාරි පාඨමාලාව - බංගලාදේශය වැනි දෙස් විදෙස් පාඨමාලාවන් රැසක් ද හදාරා ඇත.