11th December 2025
මාණ්ඩලික නිලධාරී භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 11 හි උපාධි ප්‍රධානෝත්සවය 2025 දෙසැම්බර් මස 11 දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී වූ අතර භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.ටී ලොකුතොටහේවා USP psc, විසින් එතුමන්ව පිළිගනු ලැබීය.
පරිපාලනය සහ භඨකාර්ය සම්පාදනය පිළිබඳ ප්‍රමුඛතම වෘත්තීය පාඨමාලාව ලෙස පිළිගත් භඨකාර්ය සම්පාදන පාඨමාලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෘජු මඟපෙන්වීම යටතේ පවත්වනු ලබයි. මෙම වර්ෂය පුරාවට පූර්ණ කාලීන නේවාසික පාඨමාලාවක් ලෙස පැවැත්වූ මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු පාඨමාලාව හැඳෑරූ නිලධාරින් වෙත ‘Lsc’ ගෞරව නාමය ප්‍රදානය කරනු ලැබීය. මීට අමතරව, භඨකාර්ය සම්පාදන විද්‍යාලය සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය එක්ව භඨකාර්ය සම්පාදනයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් පිරිනැමීමට ද කටයුතු කරනු ලබයි.
මාණ්ඩලික නිලධාරී භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 11, 2025 ජනවාරි මස15 දින ආරම්භ කරනු ලැබූ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 31 දෙනෙකු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 02 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියෙකු සහ සැම්බියාවේ සහ බංග්ලාදේශයේ විදේශීය නිලධාරීන් 02 දෙනෙකුගෙන් සමන්විත නිලධාරීන් 36 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක විසින් පිළිගැනීමේ කතාව සිදුකිරීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ප්‍රමුඛතා අනුපිළිවෙලින් උපාධිධාරීන් වෙත තම උපාධිය පිරිනැමූ අතර සුවිශේෂී අධ්‍යයන කාර්යසාධනයක් පෙන්නුම් කළ නිලධාරීන් වෙත විශේෂ සම්මාන ප්‍රදානය කරනු ලැබීය. පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍ය නිලධාරියා සහ හොඳම භඨකාර්ය සම්පාදන සැලසුම්කරුට හිමි සම්මානය ඉංජිනේරු සේවා බලකායේ මේජර් පී.පී.ඒ. පීරිස් දිනාගත්තේය.
උත්සවය අතරතුරදී, භඨකාර්ය සම්පාදන විද්‍යාලය වෙතින් වාර්ෂිකව නිකුත් කරනු ලබන සඟරාව වන ‘The Golden Log 2025’ සඟරාව නිල වශයෙන් එළිදැක්වූ අතර එහි පිටපත් ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් වෙත පිළිගැන්වීය.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහභාගීත්වය ඇගයීමට ලක්කරමින් භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක විසින් සමරු ඵලකයක් පිරිනැමූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් යුධ හමුදාපතිතුමන් විසින්ද සමරු ඵලකයක් ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් RWP RSP ndu psc, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරින්, භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන්, අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ උපාධිධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් ද සහභාගී වූහ.