2025-05-02

26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් දක්වයි

2025 මැයි මස 27 දින සිට 31 දින දක්වා දකුණු කොරියාවේ ගුමි හි පැවති 26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දස්කම් දැක්වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායමට කාන්තා ක්‍රීඩිකාවන් පස් දෙනෙකු සහ පිරිමි ක්‍රීඩකයන් හය දෙනෙකු ඇතුළත් වූ අතර, ඔවුන් මෙම ජාත්‍යන්තර තරඟාවලියේදී ලද සුවිශේෂී ජයග්‍රහණයන් තුළින් ජාතියට මහත් ආඩම්බරයක් ගෙන දුන්හ. එහිදී, කාන්තා මීටර් 4x400 සහය දිවීමේ ඉසව්වෙන් 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මාණ්ඩලික සැරයන් ආර්. නදීෂා සහ 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කාන්තා සෙබල එම්.එච්.ජේ උත්තරා යන ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් ද මීටර් 400 සහ මීටර් 4x400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන්2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලලත් නිලධාරී II එච්.කේ.කේ කුමාරගේ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත් අතර, මීටර් 10,000 ඉසව්වෙන් 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.එම්.ආර් විජේසූරිය 6 වන ස්ථානය හිමිකර ගනිමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීය.

2025 ජුනි මස 01 දින දිවයිනට පැමිණි යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.සී.ආර් කන්නන්ගර RSP ndc සහ ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ, යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ඔවුන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. එහිදී, ජාත්‍යන්තර මලල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ යුද්ධ හමුදාවේ සහ මෙරට කීර්තිය ඉහළ නැංවීම සඳහා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීම ඔවුන් ප්‍රශංසාවට ලක් කරනු ලැබීය.