ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සේවයේ නියුතු, විශ්‍රාමික, රණක්‍ෂතයටපත් සහ ජීවිතක්‍ෂයට පත් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා සුභසාධන වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සේවයේ නියුතු, විශ්‍රාමික යුද්ධ සාමාජිකයින්ගේ සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා සුභසාධන වැඩසටහනක් විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG වෙත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සම්ප්‍රදායානුකූලව මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව එතුමන්ව එම රෙජිමේන්තුවේ බලකාධිපති විසින් පිළිගන්නා ලදී.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සේවයේ නියුතු, විශ්‍රාමික යුද්ධ සාමාජිකයින්ගේ සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනය වෙනුවෙන් යුද්ධ හමුදාවේ අඛණ්ඩ කැපවීම අවධාරණය කළේය. පසුව, එතුමන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් යුද්ධ හමුදාවට ප්‍රදානය කරන ලද එක් රථයක් අභිමංසල 3 වෙත භාරදෙන ලදී.

ඉන්පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් පැමිණ සිටි පිරිස සමඟින් සුහද කතාබහක නිරත විය.

මෙම සුභසාධන වැඩසටහනේදී යුද්ධ හමුදා සුභ සාධන අධ්‍යක්‍ෂ මණ්ඩලවල සහ ශාඛාවල අධ්‍යක්‍ෂවරුන් සහ නිලධාරින් හමුවී පවතින ගැටළු නිරාකරණය කරගැනීමට මෙන්ම අවශ්‍යතාවය මත යුද්ධ හමුදාධිපතිතුමන් හමුවීමට ඔවුන්ට අවස්ථාව හිමිවිය.