Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th January 2024 18:50:35 Hours

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සඳහා පිටත්ව යාමට නියමිත වෛද්‍ය කණ්ඩායම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත ගෞරවාචාර දක්වයි

දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත 10 වන වෛද්‍ය කණ්ඩායම අඟහරුවාදා (ජනවාරි මස 30) දින වේරහැර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත සිය ගෞරවාචාරය පිරිනැමූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.යූ එස් වනසේකර ආර්ඩබ්ලිව්පී යූඑස්පී විසින් එම රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ.

වෛද්‍ය බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී විසින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීම සඳහා ප්‍රධාන පීඨිකාය වෙත කැටුව යන ලදී. සරඹ භූමිය වෙත කැටුව යාමෙන් අනතුරුව පෙළ අණදෙන්නාගේ ආරාධනයකට අනුව එතුමන් පෙළපාලිය පරික්‍ෂා කරනු ලැබීය. පසුව, හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ.

දකුණු සූඩානයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරීන් සඳහා සංකේතාත්මක වැදගත්කමක් එක්කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් ජාතික කොඩිය, එක්සත් ජාතීන්ගේ ධජය, යුද්ධ හමුදා ධජය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ධජය ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ 10 වන බලඇණියේ අණදෙන නිලධාරීතුමන් වෙත පිරිනමනු ලැබීය. එමගින් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්ව යන කණ්ඩායම එම මෙහෙයුම සඳහා සූදානම් බවත් එම වගකීම් භාරගැනීමට සූදානම් බවත් පිළිබිඹූ කරයි.

යුද්ධ හමුදා නිලධාරීන් 14 දෙනෙක්, නාවික හමුදාවේ එක් නිලධාරියෙකු සහ සෙසුනිලයන් 49 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 64 දෙනෙකුගෙන් සමන්විත දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 10 වන කණ්ඩායමට ලුතිනන් කර්නල් ඩී.එම්.ඩී.ජේ දිසානායක ආර්එස්පී යූඑස්පී අණදීම සිදුකරනු ලබන අතර මේජර් එන්.අයි රත්නායක දෙවන අණදෙන නිලධාරි ලෙස කටයුතු කරයි.

හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලිය අවසන් වූ පසු මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදා සාමාජිකයින් අමතමින් රටක් වශයෙන් මෙවැනි විදේශ මෙහෙයුම් සඳහා සහභාගී වීමේ වැදගත්මකම පිළිබඳ අවධාරණය කරන ලදී.

මේ වනවිට දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා යොදවා සිටින 9 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම එක්සත් ජාතීන්ගේ විධිවිධානවලට අනුකූලව ඔවුන්ට පැවරූ රාජකාරීන් සාර්ථකව නිමකර 10 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම වෙත රාජකාරී භාරදී පෙබරවාරි මස 05 දින නැවත සිය රට බලා පැමිණීමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වුහ.