Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2024 23:06:18 Hours

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සංචාරයක

ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් සිකුරාදා (ජනවාරි මස 12) දින කොස්ගම ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් හමුවී සුහද පිළිසඳරක නිරතවිය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සමඟින් මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් එම මූලස්ථානයේ ස්ථාපිත කපිතන් සාලිය අලදෙණිය ගේ පිළිරුවට පුෂ්පෝපහාර පුදකළේය. පසුව, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.

ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කළ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන්ගේ වත්මන් කාර්යභාරය ද ඇගයීමට ලක්කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් ආමන්ත්‍රණය කිරීම සඳහා එතුමන් හට මෙම අවස්ථාව ලබාදීම වෙනුවෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ වෙත සිය කෘතඥතාව පුදකළේය. දේශනය සමාප්තියේ මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ සුරතින් ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ අතර එහිදී නිලධාරීන් සහ සෙසුනිලයන් සමඟ සුහඳ පිළිසඳරක නිරතවිය. එම මූලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට මත්තෙන් එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබීමෙන් අනතුරුව සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.