Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th December 2023 22:21:21 Hours

මුලතිව්, වන්නි සහ යාපනය භටපිරිස් ගංවතුර සහන ආපදා හදිසි මෙහෙයුම් කටයුතු වල අඛණ්ඩවම

ගත වූ පැය 48 තුළ ඇතිවූ අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් මුලතිව් සහ ඒ අවට ප්‍රදේශවල අවතැන් වූ පවුල් 109 ක සිවිල් වැසියන් 228 දෙනෙකු පසුගිය සඳුදා (දෙසැම්බර් මස 18) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කරන ලදී.

යුද්ධ හමුදා භටපිරිස් විසින් ජලයෙන් යටවූ ප්‍රදේශවල අවතැන්ව සිටින ජනතාව යුද්ධ හමුදා රථවාහන මගින් මන්නාකන්දල්හි ප්‍රාථමික පාසල සහ කරුවලකන්දල්හි රජයේ පාසල වෙත ආරක්‍ෂිතව රැගෙනයන ලදී. එම සිවිල් වැසියන්ගෙන් වැඩි දෙනෙකු ගංවතුර තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබූ වසන්තිපුරම් සහ කීරණමඩු ගම්මානවල පිරිස් වූහ.

තවද, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 පාබල සේනාංකයේ 552 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 22 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 17) දින පාණ්ඩිවෙට්ටිකුලම් වැව් බැම්මෙහි ඇතිවූ ජල කාන්දුවක් අළුත්වැඩියා කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 පාබල සේනාංකයේ 541 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින්ද පසුගිය සඳුදා (දෙසැම්බර් මස 18) දින මන්නාරම, තේවම්පිට්ටි රෝමානු කතෝලික පාසලේ සිසුන් 40 දෙනෙකු එලිප්පුකඩිකාවායි දමිළ පාසලේ පැවති සම්මන්ත්‍රණයක් සඳහා ප්‍රවාහනය කිරීමට පහසුකම් සලසා දුන්නේ මාර්ගය ජලයෙන් යට වූ බැවිනි. 541 සහ 641 පාබල බලසේනාවේ භටපිරිස් ට්‍රැක්ටර් රථ ඇතුළු වාහන මේ සඳහා භාවිත කර ඇති අතර, මෙම ගලවා ගැනීමේ මෙහෙයුම් කටයුතු සඳහා නිලධාරීන් 9 දෙනෙකු සහ සෙසු නිලයින් 30 දෙනෙකු ක්‍රියාකාරීව සහභාගී වූහ.

213 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 16) දින අන්දරකුඩාව වැව් බැම්ම මත වැලි කොට්ට අතුරා වැව් බැම්මේ ප්‍රතිසංස්කරණය කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ 593 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 19) දින ගංවතුරෙන් අවතැන්වූ පුතුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පවුල් සඳහා මානුෂීය ආධාර ලබා දෙන ලදී.

ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ අධික ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ සිවිල් වැසියන් ඉවත් කිරීම, සහන සැලසීම, ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන යාමේ කටයුතුවල භටපිරිස් නිරතව සිටිති. ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව්, 68 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, 681 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ නිලධාරීන් එක්ව භටපිරිස් වෙත අවශ්‍ය උපදෙස් ලබා දෙනු ලබයි.