Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2023 09:55:41 Hours

24 පාබල සේනාංකයේ 10 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

24 පාබල සේනාංකයේ අභිමානවත් 10 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 2023 නොවැම්බර් මස 27 දින සංවත්සර සැමරුම් උත්සවයක් සංවිධානය කෙරිණි.

මෙම සංවත්සර සැමරුමට සමගාමීව, 24 පාබල සේනාංකයේ භටපිරිස් විසින් නොවැම්බර් මස 22, 23, 24 සහ 25 දිනයන්හිදී දඩයන්තලාව ශ්‍රී සම්බෝධි රුක්ඛාරාම විහාරස්ථානය, පරිවාර දීඝවාපි මහා විහාරය, මල්වත්ත විලවාඩි විනයාගර් කෝවිල, මජීද්පුර ජුම්මා මුස්ලිම් පල්ලිය සහ සෝරිකල්මුණේ ශුද්ධ කුරුස දේවස්ථානය යන ආගමික ස්ථානයන් පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.

24 පාබල සේනාංකයේ 10 වන සංවත්සර දිනයට සමගාමීව 2023 නොවැම්බර් මස 24 දින අම්පාර දිස්ත්‍රික් මහ රෝහල් ලේ බැංකුව සමඟ ඒකාබද්ධව ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, ඒ සඳහා නිලධාරීන් සහ සෙසුනිලයන් 60 දෙනෙක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්ව සිය රුධිරය පරිත්‍යාග කළහ.

එදිනම අම්පාර ප්‍රදේශයේ පිහිටි ‘සරණ’ වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 25 දෙනෙකු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූ අතර, නොවැම්බර් මස 26 දින දීඝවාපිය රජමහා විහාරස්ථානයේදී භික්‍ෂුන් වහන්සේලා 15 නමක් උදෙසා සාංඝික දානය පූජාකළහ.

එදින සන්ධ්‍යාවේ 24 පාබල සේනාංක මුලස්ථානයේ පිහිටි විහාරස්ථාන පරිශ්‍රයේදී බෝධි පුජා පිංකමක් පවත්වා එම සේනාංක මූලස්ථානය, යුද්ධ හමුදාව සහ සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත ආශිර්වාද එක්කළහ.

සංවත්සර සැමරුමට විවිධත්වයක් එක් කරමින් එම සේනාංකයේ භටපිරිස්හි සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් මස 24 සහ 25 දෙදින තුළ සේනාංක මූලස්ථානයේ ක්‍රීඩා පිටියේදී ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීය. තරඟාවලියේ අවසන් මහා තරඟය 2023 නොවැම්බර් මස 25 දින පැවැත්විණි.

සංවත්සර දිනය යෙදුනු නොවැම්බර් මස 27 දින සේනාංක මූලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී වෙත 11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ. සේනාංකාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණයෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

භටපිරිස් ආමන්ත්‍රණයේදී, සේනාංකාධිපතිතුමන් 24 පාබල සේනාංකයේ ඉතිහාසයේ සන්ධිස්ථාන කිහිපයක් සිහිපත් කළ අතර, සියළුම නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ කැපවීම සහ කාර්යය සාධනය ඇගයීමට ලක්කළේය. සංවත්සර උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සේනාංකාධිපතිතුමන් ප්‍රමුඛ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සහභාගීත්වයෙන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීය. එදින සන්ධ්‍යාවේ, සංගීත ප්‍රසංගයක් ද පැවැත්විණි.

සංගීත ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැඟෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගි වූ අතර, එම සේනාංකයට අයත් 241 සහ 243 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් ද සහභාගී වූහ. එමෙන්ම, නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්, සෙසුනිලයන්, විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් 15 දෙනෙක් සහ එම ප්‍රදේශයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

24 පාබල සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සේවය ඇගයීමට ලක්කරමින් පසුගිය සිකුරාදා (2023 දෙසැම්බර් මස 01) දින විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.