Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2023 21:40:20 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායේ විශ්‍රාමික නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සුහඳ හමුවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ ගේ උපදෙස් මත, ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් සංවිධානය කරන ලද විශ්‍රාමික නිලධාරීන්, සෙසු නිලයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සඳහා සුහද හමුවක් පනාගොඩ, සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 25) දින සංවිධානය කරන ලදී.

උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සංඥා බලකා සේවා මුක්ත භටසංගමයේ සභාපති මේජර් ජෙනරල් කේ.ආර්.පී රොවෙල් (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යූඑස්ඒසීජීඑස්සී ඇතුළු එම සංගමයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් 238 දෙනෙකු සහභාගී වූහ.

උත්සව කටයුතු ආරම්භ කරමින් ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් අලංකාරවත් තූර්ය වාදක සහ සරඹ සංදර්ශනයක් පැවැත්වූහ. අනතුරුව, එම බලකායේ වත්මන් දියුණුව සහ වර්ධනය ඇතුලත් වීඩියෝ පටයක් පැමිණ සිටි පිරිස වෙත ඉදිරිපත් කරනු ලැබීය. එහිදී 3 ශ්‍රී ලංකා සංඥා බලකායට අයත් බලළත් නිලධාරී II කේ.අයි.එස් කීර්තිරත්න වෙත පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පා ගමනින් ගොස් ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා සිදුකල දස්කම් වෙනුවෙන් ශ්‍රී ලංකා සංඥා බලකා සේවා මුක්ත භටසංගමය රුපියල් 100,000.00 ක මුදලක් පිරිනමන ලදී.

පැමිණ සිටි පිරිස අනතුරුව, ශ්‍රී ලංකා සංඥා බලකායෙහි නවතමයෙන් ඉදිකරන ලද කෞතුකාගාරය සහ ‘Lieutenant Colonel D.V Brohier Motivation Center’ පුස්තකාල මධ්‍යස්ථානය නැරඹූහ.

සේවා මුක්ත භටසංගමයේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට විනෝදාස්වාදය උදෙසා විවිධ විනෝද ක්‍රීඩාවන්ද සංවිධානය කර තිබූ අතර, ඔවුන් වෙත දිවා භෝජන සංග්‍රහයක් සහ සංගීතමය රසාස්වාදනයද ලබාදුන්හ. උත්සව අවස්ථාව සඳහා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.