21st July 2023 12:15:39 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී පසුගිය බ්‍රහස්පතින්දා (20) දින රාජකාරි භාරගත්තේය.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමීන් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. ඉන් අනතුරුව, එතුමන් භික්ෂූන් වහන්සේලා උදෙසා පිරිකර සහ ගිලන්පස පූජා කළේය.
ඔහු යුද්ධ හමුදාවේ 11 වන යුද්ධ හමුදාධිපති, ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති හා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ජෙනරල් හැමිල්ටන් වනසිංහ වීඑස්වී යූඑස්පී එන්ඩීසී (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ වැඩිමහල් පුත්‍රයා ද වේ. හිටපු යුද්ධ හමුදාධිපතිවරයෙකුගේ පුතෙකු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන තනතුර දක්වා උසස් වීම් ලැබු පළමු අවස්ථාව මෙය වන අතර, මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ පියාණන්ද 19 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වශයෙන් රාජකාරී ඉටු කර තිබීම විශේෂත්වයකි.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.
මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වර්ෂ 1968 ඔක්තෝබර් මස 31 දින උපත ලැබූ අතර කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සිප්සතර හදාරා ඇත. පාසල් කාලය තුළ කැපී පෙනෙනු ශිෂ්‍යයෙකු වූ මෙතුමන් මළල ක්‍රීඩා ඉසව් තුලින් සුවිශේෂි දක්ෂතා දක්වමින් පාසලට කීර්තිනාමයක් අත්කර දුන් අයෙකි.
වර්ෂ 1987 මාර්තු මස 16 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාව වෙත බැදි කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 27 ට ඇතුලත්ව දියතලාව යුද්ධ හමුදා විද්‍යා පීඨය තුළින් කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් පුහුණුවිම් සාර්ථකව හදාරා වර්ෂ 1988 දෙසැම්බර් මස 10 දින 2 වන ලූුතිතන් නිලයේ අධිකාරියට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අනුයුක්ත කෙරිණි. එතුමන් වර්ෂ 1988 දෙසැම්බර් මස 11 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ඛණ්ඩභාර නිලධාරි ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
නව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වර්ෂ 1988 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදි දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්වන අවස්ථාවේදී එවකට යුද්ධ හමුදාධිපති ධූරය හෙබවූ එතුමන්ගේ පියාණන් වූ ලුතිනන් ජෙනරල් හැමිල්ටන් වනසිංහ වීඑස්වී යූඑස්පී එන්ඩීයූ (විශ්‍රාමික) ගේ සුරතින් සිය අධිකාරියට පත්කිරීමේ අසිපත ලබාගැනීම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයට එක්වුණු සුවිශේෂි සිදුවීමක් විය.
මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ යුද්ධ හමුදා දිවිය තුළ එතුමන් අණ හා මාණ්ඩලික මෙන්ම උපදේශක තනතුරු රැසක් හොබවා ඇත. වසර 22 කට අධික කාලසීමාවක් පුරා පැවති උතුරු හා නැගෙනහිර මානුෂීය මෙහෙයුමේදී එතුමන් වෙත පැවරුණු යුදමය රාජකාරි කැපවීමෙන් ඉටුකරනු ලැබීය.
තම ආදරණීය පියාණන් හමුදාධිපති තනතුර හොබවන අවධියේදී ඔහුගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිනවයෙන් ස්ථාපිත කරන ලද දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලෙහි විධායක අධිකාරි ලෙසත්, එහි ප්‍රධාන උපදේශක සහ සේනාවිධායක වශයෙනුත් කටයුතු කිරීමට මෙම නිලධාරියා භාග්‍යවන්ත විය. ත්රස්තවාදීන් සමග පැවති යුධමය කාලවකවානුවේදී සැඟවුණු වෙඩික්කරුවන් වෙත නායකත්වය ලබාදෙමින් නිරන්තරයෙන් සිදුකරන ලද ක්රීයාන්විතයන් හිදි සිදුකරන ලද සුවිශේෂි හා විශිෂ්ට ජයග්‍රහණයන්ද මේ අවස්ථාවේදි සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයකිනි. පසු කාලයෙදි මේජර් ජෙනරාල් ඩබිලිව්. ඒ. එස්.එස්. වනසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, 59 වන පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, 682 සහ 144 පාබල බළසේනාවන්හි බළසේනාධිපති හා 592 පාබල බලසේනාවේ වැඩබල බලසේනාධිපති වශයෙන්ද, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ (පාලන), විදේශ මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ ජෙනරාල්, 61 වන සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා විධායක ජෙනරාල්, ආරක්ෂක සේනා ආඥාපති - (මුලතිව්), ස්වේචිඡා බලසේනාවේ, සේනාවිධායක හා අවසන් වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 40 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන තනතුරෙහි රාජකාරී කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 62 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ලෙස පත්වීම් ලබා ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් තම හමුදා ජීවිතය තුළදී තම වෘත්තීය ප්රගමනය උදෙසා, එක්සත් රාජධානිය, පාකිස්ථානය, ඉන්දියාව, තුර්කිය, ක්‍රෝයේෂියාව සහ චීනය යන රටවල් හිදී පාඨමාලා හා පුහුණු වැඩමුළු සදහා සහභාගි වී ඇති අතර, එම හදාරන ලද පාඨමාලා කිහිපයක් නම්, යුධ අභ්‍යාස පාඨමාලාව - එක්සත් රාජකීය හමුදා විද්‍යාපීඨය (Sandhurst), කාලතුවක්කු තරුණ නිලධාරි පාඨමාලාව - පාකිස්ථානය, නිලධාරි ශාරිරික අභ්‍යාස පාඨමාලාව - ඉන්දියාව, කාල තුවක්කු උසස් පාඨමාලාව - පාකිස්ථානය, කාලතුවක්කු අණදෙන්නන්ගේ පාඨමාලාව - චීනය, සාමසාධක රාජකාරි තුලදී අවි ගැටුම් අවම කිරීමේ පාඨමාලාව - තුර්කිය, ආරක්ෂක හා ක්‍රමෝපාය පිළිබදව පාඨමාලාව ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය (ndu) - චීනය වන අතර ශ්‍රී ලංකාව තුලදී යුද්ධ හමුදා ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ මූලික ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලාව, උසස් ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලාව, පුහුණු උපදේශක පාඨමාලාව සහ යුද හමුදාව තුළ පවත්වන්නාවු ඉතා දුෂ්කර පාඨමාලාවක් වන දීර්ඝ කාලීන සැගවුණු වෙඩික්කරු පාඨමාලාව හදාරා ඉන් උසස් ප්‍රතිඵල හිමිකර ගැනීමට සමත් වී ඇත.
එතුමන් චීනයේ බීජිං නුවර පිහිටි ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකු වන අතර එහිදී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ උපායමාර්ගික හමුදා අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබාගත්තේය.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුධ භූමේදී දැක්වූ රණකාමිත්වය අගයනු වස් රණශූර පදක්කමෙන්ද, තම ආදරණීය පියාණන්ට මෙන්ම, මෙතුමන්ගේද අග්‍රගණ්‍ය හමුදා සේවාව හා නිකැළැල් හමුදා සේවය අගයමින් විශිෂ්ට සේවා විභූෂණය හා උත්තම සේවා පදක්කම් ද්විත්වයෙන්ද පිදුම් ලබා ඇත. නැගෙනහිර මානූෂීය මෙහෙයුම් පදක්කමත්, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කමත්, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, රිවිරැස ක්‍රියාන්විත පදක්කම, 50 වන නිදහස් දින සංවත්සර පදක්කමත්, යුද්ධ හමුදා 50 වන සංවත්සර පදක්කමත්, 75 වන නිදහස් දින සංවත්සර පදක්කමත්, දීර්ඝ සේවා පදක්කමත්, සේවාභිමානි පදක්කම හා සේවා පදක්කමෙන් පිදුම්ලබා ඇත.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවූ දක්ෂ වෙඩික්කරුවෙකු වන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා විසින්, 1990 වර්ෂයේ පොයින්ට් 22 රයිෆල් වෙඩිතැබීමේ තරඟාවලියේ යුද්ධ හමුදා වර්ණ ලබා ගැනීමට සමත් විය. තවද, 1991 වර්ෂයේදී වසර 13 කට පසු ජනාධිපති තුමන් අතින් සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලියක පදක්කම් ලබා ගත් ප්‍රථම යුද්ධ හමුදා නිලධාරියා වීමට ද මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සමත්විය.
චාමා වනසිංහ මහත්මිය සමඟ විවාහ ගිවිසගෙන සිටින මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ එක් පුතනුවෙකුගේ ආදරණීය පියෙකි.