29th June 2023 11:19:03 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මේජර් ජෙනරල් එස්.ඒ පතිරණ ආර්එස්පී සිය පවුලේ සාමාජිකයන් සමගින් ඉකුත් බදාදා (28) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය. වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එස්.ඒ පතිරණ ආර්එස්පී සිය රාජකාරී කාලසීමාව තුළ කටයුතු කල ආකාරය පිළිබඳව මතකයන් ආවර්ජනය කළ යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ගේ විශ්‍රාම දිවියටද සුභපැතුම් එක්කරමින් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ අනභිබවනීය සේවය ඇගයීමට ලක් කළේය.
ත්රස්තවාදයට එරෙහිව පැවැති මානූෂිය මෙහෙයුමේදී 2009 මැයි මාසයට පෙර භඨකාර්ය සම්පාදන නිලධාරියෙකු ලෙස සිදුකළ සේවය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිහිපත් කළේය. තවද මෙම හමුවේදී විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ විශ්‍රාම දිවිය සහ ඉදිරි වැඩකටයුතු මෙන්ම සැලසුම් පිළිබඳව ද විමසනු ලැබීය. එමෙන්ම විශ්‍රාම දිවියට එලඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සුහද අදහස් හුවමාරුවක නිරත වෙමින් මේජර් ජෙනරල් එස්.ඒ පතිරණ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් මානුෂීය මෙහෙයුමේදී සහ අනෙකුත් රාජකාරි අවස්ථාවන්හිදී සිය රාජකාරි කටයුතු නිසි අයුරින් ඉටුකිරීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් පවුලේ සාමාජිකයින් වෙතද සිය ස්තූතිය පුදකළේය. මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් එස්.ඒ පතිරණ ආර්එස්පී සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මගපෙන්වීම, උපදෙස්, දිරිගැන්විම් සහ සුබපැතුම් වෙනුවෙන්ද සිය ස්තූතීය පුදකළේය. මෙම සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් මේජර් ජෙනරල් එස්.ඒ පතිරණ ආර්එස්පී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්රදානය කළේය. අනතුරුව එතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද සමරු තිළිණයක් ප්රදානය කරන ලදී.
වර්ෂ 1989 නොවැම්බර් මස 14 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැදුණු අතර, රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් පාඨමාලා අංක 32 බී යටතේ මූලික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසුව දෙවන ලුතිනන් වරයෙකු ලෙස අධිකාරියට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය වෙත අනුයුක්ත කරනු ලැබු අතර, ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2023 ජූනි මස 06 වන දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම දිවියට එළබෙන විට ආඥාපති ඉදිරි නඩත්තු ප්‍රදේශ-උතුර ධූරයේ රාජකාරීන් හොඹවමින් සිටියේය. ඒ අතර එතුමන් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසලේ ඛණ්ඩ භාර නිලධාරි අණදෙන, 3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිලධාරී අණදෙන, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපල (කටුබද්ද) හි වැඩපොල භාර නිලධාරි, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 3 (අධීක්ෂණ), විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 2 (දේශීය නියෝජිත), ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපොල (කොළඹ) නිලධාරි අණදෙන, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, හයිටි හි මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරිමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSTAH), ශ්‍රී ලංකා විදුලි හා ඉංජිනේරු බලකායේ නිලධාරි අණදෙන, 3 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ දෙවන අණදෙන නිලධාරි, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ වැඩ බලන මාණ්ඩලික නිලධාරි 1 (පරිපාලනය), 5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ දෙවන අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 1, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසලේ සේනාවිධායක, 5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී, යුද්ධ හමුදා කාර්මික ව්‍යාපෘතියේ සේනාවිධායක, 68 පාබල සේනාංක මූලස්ථානයේ කර්නල් (පරිපාලන සහ භඨකාර්ය සම්පාදන), 11 පාබල සේනාංකයේ කර්නල් (පරිපාලන සහ භඨකාර්ය සම්පාදන), ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් (පරිපාලන සහ භඨකාර්ය සම්පාදන), ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක යන තනතුරු හොඹවන ලදී.
රණ බිම තුළ එතුමන් දැක්වූ නිර්භීතකම සහ වීරක්‍රියා හේතුවෙන් ‘රණ සූර පදක්කම’ පිරිනමා ඇත.
මේජර් ජෙනරල් එස්.ඒ පතිරණ ආර්එස්පී සිය යුද්ධ හමුදා දිවිය තුළ මූලික පරිගණක පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරීන්ගේ පාඨමාලාව, බංගලාදේශයේ තරුණ නිලධාරීන්ගේ මූලික පාඨමාලාව, ඉන්දියාවේ වැඩමුළු අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව, ඉන්දියාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරී පාඨමාලාව, චෙක් ජනරජයේ T-55 AM I ප්‍රධාන යුද ටැංකියේ ක්‍රියාකාරී පාඨමාලාව වැනි දේශීය විදේශීය පාඨමාලා රැසක් හඳරා ඇත. තවද, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි පාකිස්තානයේ ලාහෝර් විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය, මොරටුව විශ්වවිද්‍යාලයේ බලශක්ති තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, චීනයේ මහජන විමුක්ති හමුදාවේ සන්නද්ධ හමුදා ඉංජිනේරු විද්‍යාපීඨයේ යුද ටැංකි චැසි සහ එන්ජින් අලුත්වැඩියාව පිළිබඳ ඩිප්ලෝමාව හඳරා ඇත.