Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

26th May 2023 11:10:07 Hours

ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවූ පවුලක් වෙත යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නව නිවසක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 612 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෝපිවත්ත ප්‍රදේශයේ වෙසෙන ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය සඳුදා (22) දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත පවරාදෙනු ලැබීය.

දරුවන් සිවුදෙනෙකු සමඟින් ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන මෙම කාන්තාවගේ පවුල පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් සහ දානපතියන් කිහිපදෙනෙකු මෙම නව නිවස ඉදිකරදීමට ඉදිරිපත් වී තිබූ අතර ඒ සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික කුසලතාවයන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙතින් ඉල්ලා සිටිනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ අධීක්‍ෂණය යටතේ TDK Trade Links Pvt Ltd සමාගම වෙතින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් මෙම නව නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදුන්හ.

මෙම ව්‍යාපෘතිය සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය වෙතින් රු. 300,000/= ක් සහ සිවිල් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණය මත 12 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් රු. 486,000/= ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකළහ. සම්පූර්ණ ව්‍යාපෘතියේ පිරිවැය රුපියල් මිලියන 2.4 ක් වූ අතර 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 612 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත 12 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකළහ.

මෙම නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී වූ අතර 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී සහ 612 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.ඩබ්ලිව්.එස්. මිල්ලගල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ද සහභාගී වූහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රමුඛ තවත් කිහිපදෙනෙකු එක්ව නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත ගෘහ භාණ්ඩ කිහිපයක් ද මෙහිදී පරිත්‍යාග කරනු ලැබූ අතර මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ අනුග්‍රාහක භවතුන් ද සහභාගී වූහ.