Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2023 18:32:55 Hours

111 වන බලසේනාවේ 12 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත 111 වන බලසේනාවේ 12 වන සංවත්සර දිනය වෙනුවෙන් පසුගිය සඳුදා (30) දින එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධ ආගමික වතාවත් හා හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණි.

සංවත්සර දිනයට ප්‍රථම, එම බලසේනාවේ භටපිරිස් ඉකුත් සඳුදා (23) දින පිහිඹියහේන වැඩිහිටි නිවාසය පිරිසිදු කරනු ලැබූ අතර, පසුදින (24) එම වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත කෙටි ආහාර පාන සහ ප්‍රණීත දිවා භෝජනයක් පිරිනැමූහ. එමෙන්ම ඔවුන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් සංගීත සැසියක් ද පැවැත්විණි.

එම බලසේනාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් පසුගිය බදාදා (25) දින මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේදී කිරිආහාර පූජාවක් සහ පිරිත් සජ්ඣායනයක් පැවැත්වූ අතර අනුරාධපුර ‘ජය ශ්‍රී මහා බෝධිය’ සහ ‘රුවන්වැලි සෑය’ පරිශ්‍රයේදී ද බෞද්ධ ආගමික වතාවත් සිදුකෙරිණි. පසුදින (26) සේවයේ නිරත සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් පිං අනුමෝදන් කරමින් තවත් පුණ්‍ය වැඩසටහනක් ද පැවැත්වීය.

සංවත්සර දිනය යෙදුනු පසුගිය සඳුදා (30) දින බලසේනා මූලස්ථානය වෙත සපැමිණි බලසේනාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, සමූහ ඡායාරූපයකට සහභාගී වූ එතුමන් සෙසුනිල භෝජනාගාරයේදී පැවති සියලුනිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී විය.

එදින සන්ද්‍යාවේ බ්‍රාස් බෑන්ඩ් (brass band), බීට් බෑන්ඩ් (beat band) සහ නැටුම් කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද නෛකවිධ නර්තන අංගයන්ගෙන් එම සන්ධ්‍යාව වඩාත් විචිත්‍රවත් විය.