Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th January 2023 18:30:39 Hours

‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 62’ සහ ‘ජ්‍යෙෂ්ඨ නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලා අංක - 42’ හි සමාප්ති උත්සවය අම්පාර සටන් පුහුණු පාසලේදී පැවැත්වේ

කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 62’ සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ ‘ජ්‍යෙෂ්ඨ නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලා අංක - 42’ හි සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය සෙනසුරාදා (28) දින අම්පාර සටන් පුහුණු පාසලේදී පැවැත්විණි.

2023 ජනවාරි මස 4 දින ආරම්භ වූ මෙම පාඨමාලා ද්විත්වය සති තුනක කාලසීමාවක් පුරා පැවති අතර එම පාඨමාලාවන් සඳහා දේශන, ප්‍රායෝගික අභ්‍යාස සහ විභාගයන් ඇතුළත් විය. ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලාව සඳහා කොමිෂන් නොලත් නිලධාරීන් 182 දෙනෙක් සහ ජ්‍යෙෂ්ඨ නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලාව සඳහා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 53 දෙනෙක් සහභාගී වූහ. පාඨමාලාවන් සඳහා සහභාගී වූ සියලු යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් සහතිකපත් සහ පාඨමාලා ලාංඡන ප්‍රදානය කෙරිණි.

මෙම සහතිකපත් ප්‍රදානෝත්සවයන්හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අම්පාර සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරි කර්නල් කමල් ද සිල්වා සහභාගී වූ අතර සහතිකපත් ප්‍රදානය කිරීමට ප්‍රථම එතුමන් විසින් සමාප්ති දේශනයන් සිදුකරන ලදී.

ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලාවේ ප්‍රථම ස්ථානය 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ලාන්ස් කෝප්‍රල් ජී.ඩී.එම්. පෙරේරා විසින් දිනාගැනීමට සමත් වූ අතර ජ්‍යෙෂ්ඨ නායකත්ව සහ වෘත්තීය සංවර්ධන පාඨමාලාවේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සැරයන් එස්.එච්.එම්. මධුශංඛ සමත්විය.