Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd January 2023 15:20:51 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 4 වන ගජබා රෙජිමේන්තුව නැවත ස්ථාපනය කරයි

2007 වර්ෂයේදී යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ඒකකයක් බවට ස්ථාපනය කරනු ලැබූ 4 වන ගජබා රෙජිමේන්තුව නැවත ස්ථාපනය කරමින් එම ඒකකයේ සම්ප්‍රදායානුකූල ධජ ප්‍රදානෝත්සවය ඉකුත් සිකුරාදා (20) දින සාලියපුර ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබූ අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය. ඒ අනුව ගජබා රෙජිමේන්තුවේ 24 වන ගජබා රෙජිමේන්තු ඒකකය 4 වන ගජබා රෙජිමේන්තුව ලෙස නැවත ස්ථාපනය කරන ලදී.

1987 අගෝස්තු 15 වන දින ස්ථාපනය කරනු ලැබූ 4 වන ගජබා රෙජිමේන්තුව මාතෘභූමියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම උදෙසා සුවිශේෂී සේවාවක් ඉටු කළ ඒකකයකි. මෙහෙයුම් අවශ්‍යතා මත එම ඒකකය විසුරුවා හැර 2007 පෙබරවාරි මස 04 දින 3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව ලෙස නැවත ස්ථාපනය කරන ලදී. වසර 23 කට ආසන්න කාලයකට පසුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරනු ලැබූ යුද්ධ හමුදා නියෝගයක් මගින් ගජබා රෙජිමේන්තුවේ කණිෂ්ඨතම නිත්‍ය ඒකකය වන 24 වන ගජබා රෙජිමේන්තු ඒකකය විසුරුවා හැර 4 වන ගජබා රෙජිමේන්තුව නැවත ස්ථාපනය කරන ලදී.

වර්ෂ 1993 - 1994 කාලය තුළ 4 වන ගජබා රෙජිමේන්තුවේ විධායක අධිකාරි වශයෙන් රාජකාරි කරනු ලැබූ වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින්ම 24 වන ගජබා රෙජිමේන්තුව නැවතත් 4 වන ගජබා රෙජිමේන්තුව ලෙස ස්ථාපනය කිරීමේ සම්ප්‍රදායික ධජය සංකේතාත්මකව ප්‍රදානය කිරීම මෙම උත්සවයේ විශේෂත්වයක් විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ගජබා රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ. ආර් කළුපහන ආර්එස්පී යූඑස්පී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව 4 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. ඉන් පසුව සම්ප්‍රදායානුකූලව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ප්‍රථමයෙන් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්නගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා ගෞරවාචාරය පිරිනමන ලදී.

මේජර් ජී.එස්. හේරත් විසින් අණදෙන ලද හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ටී.ඩබ්ලිව් විද්‍යානන්ද විසින් යුද්ධ හමුදාධිපතිතුමන් සරඹ භූමිය වෙත කැටුව යනු ලැබීය. එහිදී එතුමන් හමුදා සම්ප්‍රදායානුකූල සරඹ පෙළපාලිය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව 4 වන ගජබා රෙජිමේන්තුවේ ධජය සංකේතාත්මකව 4 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.එම්.ඒ උදය කුමාර වෙත භාර දෙනු ලැබුවේ එම බලඇණියේ අතීත ශ්‍රී විභූතිය, ගෞරවය සහ අභිමානය යළි ඔපවත් කරමිනි.

උත්සවය අතරතුරදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සරඹ භූමියේ රැස්ව සිටි භටපිරිස් අමතමින් නැවත ස්ථාපිත කරනු ලැබු 4 වන ගජබා රෙජිමේන්තුවේ ඉදිරි ගමන වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කළේය. අනතුරුව එතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, මෙම සුවිශේෂී අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘නා’ පැළයක්ද රෝපණය කරනු ලැබීය.

මෙම උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, 52 පාබල බල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, විශ්‍රාම දිවියට එළඹී 4 වන ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.