Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd January 2023 15:33:51 Hours

ගජබා රෙජිමේන්තුවේ සාමාජිකයන්ගේ පවුල්වල සිසුන්ට ‘ගජබා විරුසවිය’ ශිෂ්‍යත්ව සහ දිරිදීමනා පිරිනැමේ

සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානය සහ ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකය එක්ව ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු, විශ්‍රාමික, සිවිල් සේවක සහ මියගිය සාමාජිකයින් අතරින් තෝරාගත් දරු දැරියන් 162 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් ඉකුත් සෙනසුරාදා (21) දින සංවිධානය කරන ලදී.

යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ මඟපෙන්වීමට අනුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සහ ගජබා රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූහ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් පසු යුද්ධ හමුදාධිපතිතුමන් උත්සව සභාව ඇමතීය. යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද සෞන්දර්යාත්මක අංගයන්ගෙන් එදින උත්සවය වර්ණවත් විය.

මෙම උත්සවයේදී, 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු සිසුවියන් 102 දෙදෙනෙකු, උසස් පෙළ සමත් සිසු සිසුවියන් 36 දෙනෙකු,‍ විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසු සිසුවියන් 11 දෙනෙකු සහ තෝරාගත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 13 දෙනෙකු වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය, පාසල් උපකරණ සහ මූල්‍ය ආධාර පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන සමාප්තියේ එක් සිසුවෙක් ස්තූති කතාව පවත්වමින් ඔවුන් වෙත ලබාදුන් ශිෂ්‍යාධාර වෙනුවෙන් සිය ස්තුතිය පුදකළේය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.