Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2022 19:04:30 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සිය ධූරයෙන් නික්මයයි

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ධූරය හෙඹවු මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය අවසන්කර යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීම සඳහා 2022 දෙසැම්බර් 01 වන දින ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ධූරයෙන් සමුගෙන තිබිණි.

මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ආරක්‍ෂ සේනා ආඥාපති - යාපනය ධූරයෙන් සමුගැනීමට පෙර එතුමන් සිය බලප්‍රදේශයේ භටපිරිස් ඇමතීම සඳහා 51, 52, 55 පාබල සේනාංක සහ ඉදිරි නඩත්තු පෙදෙස - උතුර වෙත නිල සංචාරයක නිරත විය. යාපනය අර්ධද්වීපය තුළ සාමකාමී පරිසරයක් ගොඩනැගීම සඳහා තම ධූර කාලය තුළ ලබාදුන් ඉහළ වෘත්තීයභාවය සහ කැපවූ සේවය වෙනුවෙන් සියලුම නිලයන් වෙත එතුමන් සිය කෘතඥතාව පළ කළේය.

ආරක්‍ෂක සේනා අඥාපති - යාපනය ධූරයෙන් නික්මයෑමට පෙර එය සනිටුහන් කරමින් 2022 නොවැම්බර් 30 වන දින, ආරක්‍ෂක සේනා මූලස්ථාන - යාපනය පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමනු ලැබීය. අනතුරුව සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නිල වශයෙන් එතුමන් සිය ධූරයෙන් සමුගත්තේය.

ධුරයෙන් නික්ම යන මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් අමතමින් ඔවුන් සිය රාජකාරි කාලසීමාව තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කළ එතුමන් ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. අනතුරුව සියලු නිල තේපැන් සංග්‍රහයකටද එතුමන් සහභාගී විය. පසුව පැවැති රාත්‍රි භෝජන සංග්‍රහයෙන් එදිනට නියමිත වැඩසටහන නිමාවට පත්විය.