Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2022 21:20:28 Hours

ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ සහ ශ්‍රී ලංකා හමුදා ඉතිහාසයේ විශිෂ්ඨතම යුද විරුවෙකු වන දිවංගත ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජෙනරල් විජය විමලරත්න රණවිරුවාණන් ඇතුළු මව්බිමේ ඒකීභාවය වෙනුවෙන් දිවිපිදු යුද විරුවන් 8 දෙනෙකුගේ 30 වන ගුණ සැමරුම පසුගිය සඳුදා (08) දිනට යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් යුද්ධ හමුදාධිපති, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සැමරුම් උත්සවයක් පවත්වන ලදී.

ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන ලද මෙම උත්සව අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති නියෝජනය කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහභාගී විය.  

මෙම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න රණවිරුවාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර පුදකළ අතර, රුදුරු එල්ටීටීඊ ත්‍රස්ථවාදීන්ගෙන් මාතෘභූමිය බේරාගැනීම උදෙසා දියත්කළ මෙහෙයුමේදී දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් ද පවත්වන ලදී. අනතුරුව, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි විහාරස්ථානයේදී මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වන දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න විරුවාණන් වෙත පිං අනුමෝදන් කරන ලදී.

1992 වර්ෂයේ අගෝස්තු මස 08 දින රුදුරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් අටවන ලද බිම්බෝම්බයකට ගොදුරු වී දැයෙන් සමුගත් රණශූරයෙකු වූ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මෙන්ම මේජර් ජෙනරල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්.ආර් ස්ටිවන්, ලුතිනන් කර්නල් ජී.එච් ආරියරත්න, ලුතිනන් කර්නල් වයි.එන් පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිතන් කර්නල් නලින් ද අල්විස්, ලුතිතන් කමාන්ඩර් සී.බී. විජේපුර සහ සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ජේ වික්‍රමසිංහ යන අභීත යුද විරුවන් යාපනය, අරාලි තුඩුවේ රාජකාරි කටයුතුවල නිරතව සිටියදී මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිත පූජා කරනු ලැබීය.  

මෙම උත්සව අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් රාජීන්ද්‍ර විජේරත්න, 22 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද සහභාගී වූහ.